මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කරන ජනපති

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක් ද කියා තමා විමසූ විට ඊට පිළිතුරු නොදෙන අනුර දිසානායක තමාට විවාදයකට ඇරයුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමන් සමඟ විවාදයට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව වෙනම විවාදයක් සිදු කර තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඉන් පසුව තමා මීට පෙරද සඳහන් කළ ආකාරයට අනුර, තමා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය එක්වන වීඩියෝ සංවාදයක් සඳහා වේලාව වෙන් කරගත හැකි බව පැවසු ජනාධිපතිවරයා කිසිවෙකුට කථා කිරීමට වේලාවක් ඉතිරි නොකරන නමුත් සජිත්ට ද ඊට ඇරයුම් කළ හැකි බව ද ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විද්වතුන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවකට එක් වෙමින්.

එසේම වියදම රුපියල් බිලියන 8,900ක් සහ ආදායම රුපියල් බිලියන 4,900ක්ව රුපියල් බිලියන 4000ක හිඟයක් ඇති, රටේ ආර්ථිකය බිඳ දමන අය වැයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළේ ඇයිදැයි අනුර කුමාර දිසානායකගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වේදිකාවල බෝරුවට කෑ නොගසා තම නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය රටට ඉදිරිපත් කළයුතු බව අවධාරණය කර සිටියා.