ප්‍රතිපත්ති ප්‍රකාශනවල සමහර කාරණා දැක්කාම ඔවුන් මේ රටේ ජීවත් වූ අයද යන්නත් ගැටලුවක්!-එජාප පාණදුර සංවිධායක, හිටපු ඇමැති නන්දන ගුණතිලක

අයිසින් දැමූ කේක් කෑලි කිහිපයක් බෙදා දෙනවා මෙන් බෙදා දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙන සමහර කාරණා දුටු විට ඔවුන් මේ රටේ ජීවත් වූ අයද යනුවෙන් ගැටලුවක් මතු වන බව එක්සත් ජාතික පක්ෂයේ පාණදුර ආසන සංවිධායක හිටපු ඇමැති නන්දන ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (9) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගුණතිලක මහතා:

“ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනාම නිකුත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනවල තරුණයන් පිළිබඳ ඒ ඒ අපේක්ෂකයන් දක්වන ආකල්ප සම්බන්ධව සංවාදයක් ඇති වෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා තරුණයන් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා ඕනෑකමින් ක්‍රියා කළ අයෙක් ලෙස තරුණ සේවා සභාවේ සිට මෑතකදී එලෝන් මස්ක් මහතාගේ starlink ගෙනැවිත් තරුණ තරුණියන්ට අන්තර්ජාල පහසුකම වේගවත්ව සලසා ගැනීමට අවස්ථාව සලසාදීම වැනි විශාල සිද්ධි ගණනාවක් කතා කරන්න පුළුවන්. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටියෙන් ලියලා බෙදාහරිමින් තියෙනවා. ඒත් සමහර දීර්ඝ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන කාරණා සංක්ෂිප්තව ලියලා ගෙවල්වලට එව්වට හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කම ඇති කියලා මම හිතන්නේ නැහැ. අයිසින් දාපු කේක් කෑලි කිහිපයක් බෙදලා දෙනවා වැනි ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන සමහර කාරණා දැක්කහම මේ අය මේ රටේ ජීවත් වෙච්ච අයද යන ප්‍රශ්නය ඇති වෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා.

“1948 ඉඳලා මේ දක්වා මේ රටේ තරුණයන්ව දේශපාලන ආර්ථික හා සමාජය වශයෙන් කොන් කිරීමකට ලක් වුණා ඔවුන් නොතකා හැරියා කියලා. 1971 අරගලය වගේම උතුරේ නැගිටීම දකුණේ 88/89 කාලයේ ඇති වූ තත්ත්වයන් ඇතිවීමට හේතුව අපේ රටේ තරුණ තරුණියන්ට සෑම ක්ෂේත්‍රයකම අවස්ථා අහිමි කිරීම නිසායි. 1948 සිට මේ දක්වා කිසිම සංවර්ධනයක් වෙලා නැහැ කියන මේ මහත්වරු ඉගෙන ගත්තෙත් පාසල්වලයි. ජාතික පාසල් මධ්‍යමහා විද්‍යාල පද්ධතිය ඇති කරද්දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට වඩාත් පහසුකම් සහිතව එම ප්‍රදේශයට සාපේක්ෂව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගන්න හිමි වුණේ එම පාසල් බිහි කර තිබූ නිසයි. මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාලවල ඇතුළුව දස දහසකට වඩා පාසල් පද්ධතියක් බිහි කිරීම 76 සිට මේ දක්වා රට කොහෙටද ගිහින් තියෙන්නෙ කියන එක තේරුම් ගන්න වැදගත් සාධකයක්. අතීතයේ තිබුණේ කාර්මික විද්‍යාල පමණයි. පසුව ක්‍රමානුකූලව එවැනි ආයතන බිහි කරලා තියෙනවා. තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ දැන් වෘත්තිය පුහුණු ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. පාසල් අධ්‍යාපනය හරහා විධිමත් අධ්‍යාපනයක් ලබාගන්න බැරි වුණු අයට රට තුළ සහ ලෝකයේ හොඳ රැකියාවක් ලබාගන්න පුළුවන් ආකාරයේ වෘත්තීය සහතිකයක් ලබාදෙන වෘත්තීය පුහුණු ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල ගත්තහම ආරම්භයේ තිබුණේ හතයි. මේ වන විට 18ක් තියෙනවා. ඒ 18 යම් ප්‍රමාණයක් පහුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නිර්මාණය කරපු අනුබද්ධ විශ්වවිද්‍යාල හරහා, විශ්වවිද්‍යාල බවට පත්වූ ආයතනයි. සෑම ක්ෂේත්‍රයකටම පාහේ පශ්චාත් උපාධි ආයතන බිහි කරලා තියෙනවා. එතකොට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට විනාශ කරලද තියෙන්නෙ මේ රටේ හිටපු පාලකයෝ. මං කියන්නේ පොදුවේ එක්සත් ජාතික පක්ෂය හරි රනිල් වික්‍රමසිංහ මහත්මයා හරි විතරක් නෙමෙයි. සමස්තයක් විදියට ගත්තහම ජාතික ජන බලවේගය කරන ලොකුම විවේචනය වෙනත් පක්ෂ වලට වඩා, අවුරුදු හැත්තෑවක් තිස්සෙ කරපු විනාශයද මේ ඇස් ඉදිරිපිට අපිට තියෙන්නෙ? ලලිත් ඇතුළත්මුදලි මහත්මයා ආරම්භ කරපු මහපොළ ශිෂ්‍යාධාරය ක්‍රියාත්මකයි. වෙනත් ශිෂ්‍යාධාර ක්‍රමයකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට තියෙනවා. අනුර දිසානායක මහත්තයා කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තා කියලා අපි දන්නවා. එයාට තඹුත්තේගම සෙන්ට්‍රල් එකේදී නොමිලේ උගන්නලා. උපාධියකුත් පිරිනමලා තියෙනවා.“

බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චතුර පෙරේරා මහතාද මෙහිදී අදහස් දැක්වීය.