ක්‍රිකට් ඉදිරියට යන්න නම් රටට ආදරයෙන් ක්‍රීඩා කළ යුතුයි- සිංහයෝ පරදින්න කැමැති නෑ -සනත් ජයසූරිය

“පැතුම් ක්‍රීඩා කරන ආකාරය බලා ඉන්න ආසයි. පිට්ටනියට යද්දී මම පැතුම්ට කිව්වේ බෝල 50න් 150ක් ගහන්න පුළුවන් නම් හොඳයි කියලා”

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරග පරාජයට අකමැති බවත්, අවශ්‍ය වන්නේ තරගයක ජය පරාජය කෙසේ වුවද සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ලබාදීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් ටෙස්ට් තරගය කඩුලු 8කින් ශ්‍රී ලංකා පිල ජය ලැබීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. ශ්‍රී ලංකාව ලැබූ මේ ජයත් සමඟ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තය ජය වාර්තා කළේය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යන්න නම් රටට ආදරයෙන් ක්‍රීඩා කළ යුතුයි. සියයට සියයක් රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. අපි කවුරුත් තරග පරදින්න කැමැති නෑ. පුහුණුකරු විදිහට මා පරදින්න අකමැතියි. එය ක්‍රීඩකයන් දන්නවා. ඒ නිසා ක්‍රීඩකයන් කණ්ඩායමට ඔවුන්ගේ කැපවීම සියයට සියයම දෙනවා. මම හැම වේලාවෙම කියන්නේ ඔබේ උපරිමය කණ්ඩායමට දෙන්න කියලයි. ජය පරාජය නොවෙයි වැදගත්. හොඳින් ක්‍රීඩා කිරීමයි. ඔවුන් පෙන්විය යුතුයි හැම වේලාවෙම තරගයේ සිටින බව. ඒක තරගයක ප්‍රතිඵලයට වැදගත්” ජයසූරිය මහතා පැවසීය.

“පැතුම් ක්‍රීඩා කරන ආකාරය දෙස බලා ඉන්න ආසයි. පිට්ටනියට යද්දී මම පැතුම්ට කිවුවේ බෝල 50න් 150ක් ගහන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔහු ක්‍රීඩා කරන ආකාරයට අනෙක් අයටත් පහසුවක් දැනෙනවා. ඔහුට ඉදිරියේ ලොකු ගමනක් යන්න තියෙනවා. පැතුම් ඉනිම ගොඩනැඟූ අයුරු කාටවත් විශ්වාස කරන්න බෑ. ඒ තරමට පැතුම්ගේ ඉනිම අතිවිශිෂ්ටයි. ඔහුට තිබුණ සියලු ආබාධ සුවවී තරගයට ආවේ. ඔහු පළමු තරගයට ක්‍රීඩා කළේ නෑ. කමිඳු මෙන්ඩිස් පීඩනය මැද අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වගේ ක්‍රීඩා කළා. ධනංජය වගකීමකින් ක්‍රීඩා කළා. තරගාවලියක පිතිකරුවන් දෙකක් තුනක් ලකුණු අතර නැති වෙන්න පුළුවන්. අනෙක් අය ඒක නොදැනෙන්න ක්‍රීඩා කළ යුතුයි. මම සතුටු වෙනවා පුහුණුකරු විදිහට ක්‍රීඩකයන්ගේ දැන් තත්ත්වය පිළිබඳව” ජයසූරිය මහතා සඳහන් කළේය.

“අවසන් තරගයේ ආරම්භය හොඳ නෑ. විවේකයේදී අපි කතා කළා පළමු ඉනිමේ පන්දුවට පහරදීම හොඳ නැති බව. මොකද පිතිකරුවෙක් 50ක් 60ක් ගහලා තරගයක් වෙනස් කරන්න අමාරුයි. එහෙත් දෙවැනි ඉනිමේ පන්දු යැවීම හොඳ වුණා. පළමු වතාවට වේග පන්දු යවන්නන් 4ක් ක්‍රීඩා කළේ. ධනංජය තෙවැනි තරගයේ පන්දු යැව්වා. අසිත ප්‍රනාන්දු හොඳින් පන්දු යැව්වා. ළහිරු, මිලාන්, විශ්ව හොඳින් පන්දු යැවීම වැදගත් වුණා. එක් ඉනිමක හොඳ පන්දු යැවීමකින් අපට තරගය වෙනස් කරන්න පුළුවන් බව දැන හිටියා. අපි එංගලන්ත පිතිකරු ලැයිස්තුව විශ්ලේෂණය කළා. අපි හැමදාම බැලුවේ ජෝ රූට්ව ඉක්මනින්ම දවා ගන්න. ඔහුට හොඳ යෝකර් එකක්. ෂෝට් බෝල් එකක් දාන්න වේග පන්දු යවන්නන්ට උපදෙස් දුන්නා. ඒ දේ හරියටම හරි ගියා. ජෝ රූට් තමයි තරගය වෙනස් කරන පිතිකරුවා” ජයසූරිය මහතාගේ අදහස විය.

“අපේ කණ්ඩායමට තාක්ෂණික පැත්ත හා පුහුණු කිරීම් සඳහා ඉතා හොඳ සහාය කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම සංගා, මහේල හා මාලිංග වැනි ක්‍රීඩකයන් අපට උදවු කළා. ඉදිරියේ එන නවසීලන්ත සංචාරයේදී මාව අවශ්‍ය නම් මා තවදුරටත් ඉන්නවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ගත යුතු තීරණයක්.”

“මේ තරගාවලිය ආරම්භයේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් වුණා. ශ්‍රී ලංකාවේදී ඉන්දියාවට එරෙහි විස්සයි20 තරගාවලිය පරාජය වුණා. නැවත එක්දින තරගය හොඳින් ජය ගත්තා. ඉන් පසුවයි අපි එංගලන්තයට ආවේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ලෙහෙසි නෑ. තරගාවලියට දින 9කට පමණ කලින් ක්‍රීඩකයන් ආවා. අපි හොඳින් සැලසුම් කළා. පිතිකරුවන්ට හා පන්දු යවන්නන්ට එංගලන්තයේ තත්ත්වයට හුරු වෙන්න අවශ්‍ය වුණා. පන්දු යවන්නන් කාලගුණය නිසාත්, පිතිකරුවන් වේගය හා දෝලනය නිසාත් දැඩි අපහසුතාවකට පත් වුණා. එංගලන්ත පන්දු යවන්නන්ට මේක හුරුයි.”

“වසර 27කට පෙර ඕවල් පිටියේ මුරලි කඩුලු 17ක් දවා ගත්තා. මම 200ක් ගැහැව්වා. අරවින්ද 150ක් ගැහැව්වා. ඕවල් ක්‍රීඩාංගණය අපට අමතක වෙන්නේ නෑ” සනත් ජයසූරිය මහතා අතීතාවර්ජනයක ද යෙදුණේය.