හොරු අල්ලනවා කියන්නේ තමන්ගේ වාසියට -නාමල් රාජපක්ෂ

හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාව වෙනුවෙන් නිර්මාණය කළ සටන් පාඨයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ එදා යහපාලන ආණ්ඩුව සමයේ ජනතා බදු මුදල් නාස්ති කරමින් ලොව පුරා ගොස් ගිණුම් පරීක්ෂා කරමින් රාජපක්ෂලාගේ ගිණුම්වල අයුතු ලෙස උපයාගත් කිසිවක් නොමැති බව සොයාගත් පිරිසම අද හොරු අල්ලන්න යැයි කියමින් ජනාධිපති අපේක්ෂකයන් වී ජනතාව ඉදිරියට පැමිණ ඇති බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මාතලේ පැවැති ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු තාක්ෂණය බද්ධ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණය වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බව ප්‍රකාශ කර තිබෙනවා.