ලේක්හවුස් ආයතනය ලොව පිළිගත් සරසවියක් සමඟ ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා

ලේක්හවුස් ආයතනයේ පිහිටීමත්, ආයතනය සතු භෞතික සහ මානව සම්පතත් අනුව ලෝකයේ පිළිගත් රටක විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ වී මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව දැනුම සපයන විශ්වවිද්‍යාලයක් බවට ලේක්හවුස් ආයතනය උසස් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට යෝජනා කරන්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඩිජිටල්කරණ ලෝකයක පුවත්පත් මුද්‍රණය කර අලෙවි කිරීමෙන් පමණක් අනාගතයේ මාධ්‍ය ආයතනයක් පවත්වා ගෙන යෑමට නොහැකි බවත් ඊ බුක්ස්, ඊ පේපර් ආදියෙන් ද ප්‍රයෝජන ගත යුතු බවත් හෙතෙම කීවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පස්වරුවේ පැවති ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවැසි දැනුමැති සහ වගකීම්සහගත නිර්මාණශීලි මාධ්‍ය පරපුරක් බිහි කිරීමේ පරමාර්ථයෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ආරම්භ කළ ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරන ලද මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හා ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනකුට ඩිප්ලෝමා ප්‍රදානය මෙහිදී සිදු විණි. මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියෝ 11ක් සහ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියෝ 9ක් ඊට අයත් වූහ.

එහිදී වැඩිදුරටත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ලෝකයේ වෙනස්වීම හැර අනෙක් සියලුම දේ වෙනස් වෙනවා. නොවෙනස්ව පවතින එකම දේ වන්නේ වෙනස්වීමයි. ලෝකය වේගයෙන් වෙනස් වන විට, වෙනස්වන ලෝකයේ ඇති තතු වඩා පුළුල් ලෙස විචාරාත්මකව, විවේචනශීලීව සමාජයට බෙදාහැරීමට සහ ජනගත කිරීම සඳහා ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක අවශ්‍යතාව තිබෙනවා. ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීමට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ ආචාර්යවරුන්, මහාචාර්යවරුන් දරුවන්ට නිවැරැදි මඟපෙන්වීමක්, අත්දැකීම් සමුදායක් එකතු කර මාධ්‍ය මහගෙදරින් ප්‍රායෝගික අත්දැකීම් රාශියකුත් ලබාදී තිබෙනවා. අද ඩිප්ලෝමාධාරීන් වන ඔබ සියලු දෙනාට වඩා හොඳ ගෞරවනීය වෘත්තීයක නියැළෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා සුබ පැතුම් එක් කරනවා. දෙවනුව ලේක්හවුස් ආයතනය ජාතික නිදහස් අරගලයේදී නිදහස ලබා ගැනීමට විශාල යුග මෙහෙවරක් ඉටු කළ බව අපේ රටේ ඉතිහාසයේ සනිටුහන් වී තිබෙනවා.

ඩී. ආර්. විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශප්‍රේමීන් මේ රට නිදහස් කර ගැනීමේ අරගලයට ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යයභාරය සඳහා මාධ්‍ය විශාල ලෙස භාවිත කළා. නිදහසින් පසු අධ්‍යතන ශ්‍රී ලංකාව ගමන් කළ විවිධ ආර්ථිකමය මාර්ග ඔස්සේ ඉතා විශාල අභියෝගාත්මක තත්ත්වයකට රට මුහුණ දීමෙන් ආර්ථිකය කඩා වැටීමක් සිදු වුණා. ඒ නිසා හෙට දවසේ මේ රට කෘෂිකර්මය, කර්මාන්ත, සේවා, ආයෝජන හා අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල පුළුල් පරිවර්තනයක්, ප්‍රායෝගික යථාර්ථවාදී පරිවර්තනයක්, මහ පොළවේ පැළ කළ හැකි පරිවර්තනයක් සිදු විය යුතු යැයි විශ්වාස කළ ලංකා ආණ්ඩුව ලෝකයේ විවිධ රටවලත් ඒ රාජ්‍යයන් සමඟ ඇති කරගත් ගිවිසුම් එකඟතාවලටත් අනුකූල වන ලෙස ආර්ථික පරිවර්තන පනතක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස නීතිගත කර තිබෙනවා. 2024 වර්ෂයේදී සිට 2048 වර්ෂය දක්වා මේ රට දුප්පත්කම නැති, ඒක පුද්ගල ආදායම ඩොලර් 20000ට වඩා වැඩියෙන් ලබන, ඩිජිටල්කරණයට ලක් වූ, අපනයනාභිමුඛ ආර්ථික ගමනකට වන ගමන් මාර්ගය ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ආර්ථික පරිවර්තන පනතට ඇතුළත් කර තිබෙනවා.

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියා අපේ ගැමි වහරේ කියමනක් තිබෙනවා. මේ ආර්ථික ගමන් මාවත, පරිවර්තන පනතේ ගමන් මාවත දැන ගියොත් අපි සංවර්ධිත, දියුණු, පොහොසත් රටක් බවට පත් වෙනවා. නොදැන ගියොත් සහ අත්හදා බැලුවොත් අපට විනාශය කරා ගමන් කරන්න වෙනවා. එවැනි දෑ පිළිබඳව වැඩි වැඩියෙන් සමාජය දැනුම්වත් කිරීමේ වගකීම මාධ්‍යවලට තිබෙනවා. ඒ නිසා ඒ වගකීම ඉටු කරන්නත් නව ඩිප්ලෝමාධාරීන්ට 2048 වෙනකම් ගත වන කාලයේ තමන් ඉගෙන ගත් දේ ඇසුරින් හැකියාව ලැබෙයි කියා මම විශ්වාස කරනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයේ පිහිටීමත්, ඒ ආයතනය සතු භෞතික සහ මානව සම්පත් අනුව අපට ලෝකයේ පිළිගත් රටක විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ වී මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව විශ්වවිද්‍යාලයක් බවට ලේක්හවුස් ආයතනය උසස් කර ගන්න පුළුවන් ද කියන ප්‍රශ්නය සලකා බැලීම වැදගත් කියා මම යෝජනා කරන්න කැමතියි. මක්නිසාද යත් ඩිජිටල්කරණ ලෝකයක පුවත්පත් මුද්‍රණය කර අලෙවි කිරීමෙන් පමණක් අනාගතයේ ආයතනයක් පවත්වාගෙන යන්න බැරි වෙයි.

ඊ බුක්ස්, ඊ පේපර් ආදී වශයෙන් තමන්ගේ ජංගම දුරකතනයට මාධ්‍ය සංස්කෘතිය ඇතුළුවීම තුළ ඒ තිබෙන මහා යන්ත්‍ර සූත්‍ර හා සම්පත්වලින් අනාගතයේදී ලොකු ආයෝජනයක් ආවරණය කිරීමේ හැකියාවක් ඇතැයි මට සිතෙන්නේ නැහැ. ඒ නිසා මේ තිබෙන භෞතික සම්පත් හා මානව සම්පත් වැඩියෙන් යොදාගෙන අන්තර්ජාතික ලෝකයට ගැළපෙන පුහුණු මාධ්‍යවේදීන් පුහුණු කිරීමට ඔවුන් විශ්ව තලයට ඔසවා තැබීම සඳහාත් ඉවහල් වන ජාත්‍යන්තර සම්බන්ධතා ඇති විශ්වවිද්‍යාලයක් බවට අනාගතයේ ලේක්හවුස් ආයතනය පරිවර්තනය කර ගැනීමට එකතු වී වැඩ කරමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ ශාන්ත මහතා-

අද ඩිප්ලෝමාලාභීන් ලෙස අභිසෙස් ලබන ඔබ සියලු දෙනාට සුබ පතන්න කැමතියි. මේ ලංකාවේ ඉන්න අපි සේරම වාසනාවන්තයෝ. ලංකාව තරම් ලස්සන රටක්, ලංකාව තරම් සුන්දර රටක්, ලංකාව තරම් සම්පත්වලින් ආඪ්‍ය වූ රටක්, ලංකාව තරම් ස්වභාවධර්මයට උදව් කළ රටක් ලෝකයේ තවත් ඇත්තේ නැහැ. මේ ලංකාව කොයි වගේ රටක් ද කියා බලාගන්න පිටරට යන්නම ඕනෑ. ලංකාවේ ජනගහනය මිලියන 22ක් පමණ වෙනවා. ලෝක ජනගහනය කෝටි 800ක් කියලා කියමු. ලංකාවේ ජනගහනය කෝටි 2යි කියලා කියමු. එහෙනම් මේ වගේ පින් කෙතක උපදින්න වරම් තිබෙන්නේ ලෝක ජනගහනයෙන් 800කින් දෙන්නටයි. ඒ කියන්නේ 400න් එක්කෙනාටයි. සියයට එකක්වත් නැහැ. සියයට දශම දෙකයි පහයි. එක්කෙනෙක් ඔබ. එක්කෙනෙක් මම. ඊට වඩා වැඩියමක් තිබෙනවා මට ඔබට කියන්න. ලංකාවේ ඉපදුණු අපි හැමෝම වාසනාවන්ත වුණාට පින්වන්ත වුණාට මේ ශාලාවේ වාඩිවෙලා ඉන්න ඔබ ඊටත් වඩා පින්වන්තයි කියා මට හිතෙනවා.

ලෝක ජනගහනයෙන් කීයෙන් කීදෙනාට ද ඩිප්ලෝමාවක් තිබෙන්නේ. ලෝකයේම උපාධිධාරීන් සියයට එකයි ඉන්නේ. අපි හිතමු ඩිප්ලෝමාධාරීන් ඒ වගේ දෙගුණයක් ඉන්නවා කියලා. ඒත් සියයට දෙකයි ඉන්නේ. අප හිතවත් මහාචාර්ය ටියුඩර් මහතාගෙන් මම ඇහුවා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය කීදෙනෙක් ඉන්නවද කියලා. එතුමා කියනවා වැඩිම වුණොත් 5000ක් 6000ක් ඇති කියලා. මම අධි තක්සේරුවක් දුන්නා 10000ක් ඇති කියලා. ඒ අනුව ලංකාවේ 8.5ක් වැඩ කරන ජනතාව ඉන්නවා මම 8.5න් 10000 බෙදුවා. මට උත්තර ආවේ දශම බිංදුවයි එකයි එකයි ගණනක්. මොන තරම් විරල අවස්ථාවක්ද? මොන තරම් දුබල අවස්ථාවක්ද? බලන්න ඔබ කොතරම් නම් වාසනාවන්තද? ඒ දශම බිංදුවයි බිංදුවයි එක අතරේ ඔබ එක්කෙනෙක්නේ. ලෝකයේ තිබෙන බලවත්ම අවිය මෙයයි. රැජිනගේ හතර වැනි ආණ්ඩුව ලෙස තමයි ජනමාධ්‍ය කියන දේ රැජින සලකන්නේ. ඒක තමයි සත්‍ය. ලෝකයේ හතර වැනි ආණ්ඩුව මෙයයි. ජනමාධ්‍යයට රජයක් හදන්නත් පුළුවන් රජයක් නැති කරන්නත් පුළුවන්. එතරම් ප්‍රබලයි. මේ වගේ අවස්ථාවක් හම්බ වෙන්නේ කීයෙන් කී දෙනාටද? මේ වගේ ක්ෂේත්‍රයක අධ්‍යනය කරන්න, රැකියාව කරන්න කීයෙන් කී දෙනාටද අවස්ථාව ලැබෙන්නේ. ඔබ හරිම වාසනාවන්තයි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා – ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරන දෙවැනි ඩිප්ලෝමා ප්‍රදානය අද පැවැත්වෙනවා. අද මාධ්‍ය සන්නිවේදනය හා ඩිජිටල් මාධ්‍ය ඩිප්ලෝමා ලැබ ඩිප්ලෝමා මාධ්‍යවේදීන් ලෙස සමාජයට පිවිසෙන ඔබට සුබපතන අතර අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරනවා. මේ පාඨමාලා දෙකට අමතරව එක්දින වැඩමුළු ලෙස රූපවාහිනි ගුවන්විදුලි වැඩසටහන්, ප්‍රවෘත්ති නිවේදක හා හඬකැවීම් මංගල ඡායාරූපකරණය, රාජ්‍ය බදු ඇතුළු එක්දින වැඩමුළු රාශියක් සංවිධාන කරමින් දැයේ දූ දරුවන්ගේ නැණස පාදන්න එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මාධ්‍ය ඇකඩමිය සුවිශේෂි කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මගේ ආර්ථික විද්‍යා ගුරුවරයායි. එදා ඔබ ඉගැන්වූ න්‍යායාත්මක දැනුම අද අපි ප්‍රායෝගිකව භාවිත කරනවා. මෙයට වසර තිස්පහකට පමණ පෙර එදා ඔබ මට ඉගැන්වූ ආර්ථික විද්‍යා හා වාණිජ දැනුම අදටත් ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් කියා මා ආඩම්බරයෙන් කියනවා.

සම්ප්‍රදායික තවත් එක් ඇමැතිවරයෙක් නොවී අනාගතයට සුදුසු වැඩ කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරදෙන සුවිශේෂී පුද්ගලයෙක් ලෙස මා ඔබට ගෞරව කරනවා. ලේක්හවුස් ආයතනය පිළිබඳව ඔබ දකින සුබ සිහින සැබෑ කිරීමට අප ඇපකැප වී කටයුතු කරනවා. නිදසුනක් ලෙස මේ ගෙවුණු වසරක කාලයක පමණක් ලේක්හවුස් ආයතනය ලැබූ ජයග්‍රහණ කිහිපයක් කෙටියෙන් මා ප්‍රකාශ කරන්න කැමතියි. 2023 වසරේ ආයතනයේ සේවකයන්ට වසරකට දෙවරක් ප්‍රසාද දීමනා ද ලබා දී 2023 වසර නිමා කළේ රුපියල් මිලියන තිස් එකක ලාභයක් ද සමඟිනි. 2024 වසරේ මේ වන විටත් එක් ප්‍රසාද දීමනාවක් ද ලබා දී රුපියල් මිලියන 45ක් පනහක් අතර වටිනාකමක ශුද්ධ ලාභයක් ද සහිතව 2024 වර්ෂය අවසන් කරන්න සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා. ලේක්හවුස් ඉතිහාසයේ ප්‍රථම වරට කාර්ය සාධන මත පදනම් වූ ක්‍රමවේදයක් හරහා සේවකයන්ට වාර්ෂික කාර්ය ඵල ඇගැයීමක් හඳුන්වා දී ඇති අතර අනුමත කාර්ය මණ්ඩලය වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා තිබෙනවා.

ඒ වගේම ප්‍රථම වතාවට ආයතනයට සේවකයන් බඳවා ගැනීමට අදාළව බඳවා ගැනීමේ පටිපාටියත් SOR එකත් අපි අනුමත කර තිබෙනවා. එය ලේක්හවුස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන්නක්. ඒ වගේම සේවා කාලයේ වසර 25 ඉක්මවූ ආයතනයේ සේවකයන් වෙනුවෙන් කලක සිට නවතා තිබූ සේවක ඇගයීම් මත රන් පදක්කම් ලබාදීම ආරම්භ කර මේ වන විටත් කණ්ඩායම් හයකට රන් පදක්කම් ලබාදීම අවසන් කර හත්වන කණ්ඩායමට ද රන් පදක්කම් ලබාදීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා. වෛද්‍ය අංශය සඳහා ප්‍රථම වතාවට ඊ.සී.ජී. යන්ත්‍රයක් මේ වසරේදී ලබා දී තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර තුන සම්පූර්ණ සේවකයන් ස්ථිර සේවක මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා. ආයතනයට මහත් අඩුපාඩුවක් පැවති ආයතනික ව්‍යුහයක් සකස් කර අනුමත කර තිබෙනවා. ඒ වගේම 2024 – 26 වෙනුවෙන් ආයතනික සැලැස්මක් අනුමත කර තිබෙනවා. ඒ අනුව අපේ පාලනාධිකාරිය මෙන්ම අනාගතයේ පත්වන පාලනාධිකාරිය ද එම ආයතනික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්නවා.

මේ වර්ෂයේ මුල සිට එතෙක් මුද්‍රණය නතර කර තිබූ වාර ප්‍රකාශන රාශියක් නැවත සතිපතා මුද්‍රණය කිරීම ආරම්භ කළා පමණක් නොව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලටම අදාළව පුවත් උද්දීපනය වන පරිදි ප්‍රාදේශීය පුවත් අංශය සමඟ දිනමිණ පුවත්පත මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබෙනවා. නවීන ලෝකයට ගැළපෙන පරිදි ක්ෂණික පුවත් ලබාදීම සඳහා වූ ලේක්හවුස් සමාජ මාධ්‍ය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයට අදාළව සමරු තිළිණ අලෙවි කරන අලෙවි මධ්‍යස්ථානයක් මේ වන විට ලේක්හවුස් පරිශ්‍රයේ ආරම්භ කර තිබෙනවා. මේ වසරේ සිට වෛද්‍ය රක්ෂණ දීමනාව වසර විස්සකට පමණ පසුව එක් සේවකයකුට ගෙවන වෛද්‍ය රක්ෂණය 125,000යි සිට 180,000 දක්වා වර්ධනය කර පවුල්වල රක්ෂණ දීමනාව 150,000 සිට 175,000 දක්වා වැඩි කිරීමටත් අප කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින වසර සියයකට අධික ඉතිහාසයක් ඇති එකම ආයතනය නැරඹීමට දේශීය අයට මෙන්ම විදේශිකයන්ටද අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට කොටුවේ පිහිටි ලේක්හවුස් ආයතනය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඒ එන හැම විදේශිකයකුම ලේක්හවුස් ආයතනයට ඩොලර් ලබා දී යනු ඇත. මම ඒ කෙටියෙන් සඳහන් කළේ පසුගිය වසරක පමණ කාලයකදී අප ලැබූ ජයග්‍රහණවලින් කිහිපයක් පමණයි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත මේ ජයග්‍රහණ ලබාගැනීමට අනිවාර්යයෙන්ම හැකි වී තිබෙනවා. ඒ වගේම මට සහාය දෙන අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරිත්වයේ සිට පහළම සේවකයා දක්වා සියලුම සේවකයන් මහත් කැපවීමෙන් කටයුතු කරන ධනාත්මකව සිතන වෘත්තීය සමිති මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

තොරතුරු තාක්ෂණ විප්ලවය, නව ආර්ථික අර්බුද ඇතුළුව සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයම අභියෝගයට ලක්වී ඇත. ඒ නිසා සම්ප්‍රදායික ජනමාධ්‍යවේදය ධෛර්යයෙන් යුතුව පරිවර්තනය කිරීම සහ එමඟින් ජනමාධ්‍ය ආයතනවල පෙරමුණට ආයතනය ගෙන ඒමට අප ඇපකැපවී කටයුතු කරනවා. ඇකඩමිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන සියලු දෙනා සතුටින් සිහිපත් කරනවා. අද දින ඩිප්ලෝමා සහතිකය ලබා හෙට දින සැබෑ ලෝකයට පියනඟන ඔබ සහතිකවලින් ඔබ්බට ගිය ලෝකයක් දකින්නටත් ඔබේ කුසලතාව මත අදහස් හා දක්ෂතාවන් මත කැපවීම හා නොපසුබස්නා වීර්යය මත ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය රංග ෂෙහාන් පියතුමා – “මිහි මත ඇති ප්‍රබලම අවිය මාධ්‍යයි. නිවැරදි දේ වැරදි කරන්නටත්, වැරදි දේ නිවැරදි කරන්නටත් බලය ඇත. ජනයාගේ මනස ආණ්ඩු කරන්නේ මාධ්‍යයි. “මේ කියමනේ ඇත්ත නැත්ත මටත් තේරෙන්න ගත්තේ මාර්තු 17 වැනිදා ආරම්භ කළ ලේක්හවුස් මාධ්‍යය ඇකඩමිය විසින් මෙහෙයවන ලද මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධවීමත් සමඟයි. අම්මගෙ කුසෙන් මෙලොව එළිය දකිනකොටම කවුරුත් උගන්වපු නැති, ඒත් රටාවක් ඇති හැඟීම අපි හැමෝගෙම පළමුවැනි සන්නිවේදන භාෂාවයි. බඩගිනි වුණාම අඬන්න රටාවකුයි, බයක් හිතුනම අඬන්න රටාවකුයි, තරහවක් දැනුනම අඬන්න රටාවකුයි මවන මේ පුංචි සන්නිවේදකයාගේ පළමු ග්‍රාහකයා වගේම ප්‍රේක්ෂකයත් වගේම කාලයකදී අඳින බලි කුරුටුවල පාඨකයා වන්නේත් අම්මායි.

ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ තිසාරා රාජපුර සිසුවිය – මම සරසවි අධ්‍යාපනය ලබමින් ඉන්න අතරතුර තමයි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය හා සම්බන්ධ වෙන්නේ. ඉස්සර ඉදන්ම අපි ලංකාවේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයට කියන්නේ පත්තර මහ ගෙදර කියලයි. ඒ තිබුණ විශ්වාසය ඔස්සේ තමයි මෙතැනට සම්බන්ධ වෙන්නේ. කියන්න සතුටුයි. ‘මගේ තෝරා ගැනීම සියයට සියයක්ම නිවැරදියි’ යැයි පැවසුවාය.

මේ අවස්ථාවට සහභාගි වීම වෙනුවෙන් ඇමැතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා අතින් සිදු කෙරිණි. උත්සවය අවසානයේදී ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය වෙනුවෙන් ස්තූති කතාව ඇකඩමියේ පාඨමාලා ප්‍රවර්ධන හා අලෙවි සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්න මහතා විසින් සිදු කරන ලදි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, මහා භාරකාර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගමගේ, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, මුදල් අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සාමාන්‍යාධිකාරී වරලත් ගණකාධිකාරි සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා, වැ.බ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන, සිළුමිණ පුවත්පතේ වැ.බ ප්‍රධාන කර්තෘ ශිරෝමි අබේසිංහ, තිනකරන් හා වාරමංජරී පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ටී.සෙන්තිල් වේලවර්, මාධ්‍ය ඇකඩමියේ සම්බන්ධීකාරකවරියන් වන සංදීපනී විජේතුංග, මනෝලි සුබසිංහ, වාසනා අබේනායක මහත්ම මහත්මීහු ද ලේක්හවුස් ආයතනයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් ද ඩිප්ලෝමාලාභීන්ගේ මවුපියෝ, සමීපතමයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නෙත්මි පූජනී රත්නායක