රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ ඡන්දය නිසා නොව 2025 ජනවාරි වැටුප් වැඩි කිරීමේ සැලසුමක් තිබූ නිසයි-කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීමට රජය තීරණය කළේ ජනාධිපතිවරණය නිසා නොව 2025 ජනවාරි සිට වැටුප් වැඩි කිරීමේ සැලසුමක් රජයට තිබූ නිසා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ආර්ථික අපහසුතා මත දැනට ලබන වැටුපෙන් ජීවත් වීමට නොහැකි බව අමාත්‍ය මණ්ඩලයේ දී නිරන්තරයෙන් සාකච්ඡා වූ අතර ඒ නිසා 2025 සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට හා ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට රජය තීරණය කර තිබූ බව ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා ( 08) අඟුණකොළපැළැස්සේ දී පැවැති කාන්තා සමුළුවක් අමතමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ කාන්තා සමුළුව සංවිධාන කර තිබූ අතර ඊට ඒ සඳහා කාන්තාවෝ 1500ක් පමණ සහභාගි වී සිටියහ.

මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනාධිපතිවරණය පැවැත්වෙන නිසා මෙවර අය වැය ලේඛනය ප්‍රමාදවිය හැකියි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මෙන්ම ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කළේ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු සහගත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

මීට මාස කිහිපයකට පෙර රට පුරා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කළා. එම අවස්ථාවේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බව ප්‍රකාශ කළා. රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම 2025 වසරේ සිට වැටුප් වැඩි කරන බව රජය කිව්වා. අපි කිසිසේත්ම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් සිදු නොකරන්න තීරණය කළේ නැහැ. දැන් රටේ ආර්ථිකය යහපත්. රටේ පවතින මුදල් සංචිතය ශක්තිමත්. අපි දැන් අලුතින් මුදල් අච්චු ගහන්නේ නැහැ. එහෙම කළොත් නැවතත් රට කඩා වැටෙනවා. හොඳ මුදල් කළමනාකරණයක් රජයට තිබෙනවා. ඒ නිසා අපට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම මෙන්ම ජීවන වියදම් දීමනාව වැඩි කිරීමටත් හැකියි. අපි වැටුප් වැඩි කරන්න තීරණය කළේ ඒ නිසයි. ඒ විතරක් නොවෙයි. තවත් අංශ ගණනාවකට අපි සහන දෙනවා.

ගොවි ජනතාවට පොහොර සහනාධාරය වගේම පොල්, රබර්, තේ හා කුරුඳු වගා සඳහා යොදා ගන්නා පොහොර මිලත් රුපියල් 4000කින් අඩු කරනවා. ඒ වගේම පොහොර මිල දී ගැනීම සඳහා වී ගොවීන්ට අපි දුන් රුපියල් 15,000ක මුදල රුපියල් 25,000 දක්වා වැඩි කළා. මේ සියල්ල අපි කරන්නේ ඡන්දය බලාගෙන නොවෙයි. මේ රට ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම ඉලක්ක කරගෙනයි. එවැනි වැඩපිළිවෙළක් ඇති එකම ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. ජනතාවගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන සැලසුමක් ඇති එකම නායකයාත් රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අනිත් අය ඉදිරිපත් කරන්නේ දේශපාලන පැළැස්තරයි. ඒ නිසා රට සංවර්ධනයට අද සැබෑ වැඩපිළිවෙළක් තිබෙන අපේක්ෂකයා කවුදැයි ජනතාව හොඳින් වටහා ගෙන තිබෙනවා’යැයි ද ඇමැතිවරයා කීය.

හිටපු පළාත් සභා ඇමැති එච්.ඩබ්ලිව්. ගුණසේන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.