එදා ලැම්බෝගිනි හොයන්න අපේ ගෙදර වැසිකිළි වළ පවා හෑරුවා

එදා යහපාලන ආණ්ඩුව කාලේ ජනතා බදු මුදල් නාස්ති කරමින් ලෝකේ වටේ ගොස් ගිණුම් පරීක්ෂා කරමින් රාජපක්ෂලාගේ ගිණුම්වල අයුතු ලෙස උපයා ගත් කිසි දෙයක් නෑ කියා සොයා ගත් පිරිසම අද හොරු අල්ලන්න යැයි කියමින් ජනාධිපති අපෙක්ෂකයන් වී ජනතාව ඉදිරියට පැමිණ සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මාතලේ පැවැති ජන හමුවකදී ඊයේ (09) පැවසීය.

හොරු අල්ලනවා යැයි කියන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක් බවත් තාක්ෂණය බද්ධ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වා දෙමින් දූෂණය වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බවත් හෙතෙම මෙහිදී පැවසුවේය.

දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නෙ. යහපාලන ආණ්ඩුවෙත් එහෙම්මම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම එක කමිටුවකට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා නඩු පිට නඩු දැම්මා. ඒ හැම නඩුවකින්ම අපි නිදොස්කොට නිදහස් වුණා.

ඒක තනිකරම ඒක දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක්. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා. අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා යැයිද හෙතෙම කීවේය.