මට ඉදිරි වසර පහ අවශ්‍යයි -ජනපති රනිල්

Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ලොව අනෙක් රටවල් මෙන් රටේ අනාගතය නිර්මාණය කර ගැනීමේ අවස්ථාව තරුණ පරපුරට ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ඒ වෙනුවෙන් වූ මාර්ගය තමා සකසා දෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බොරු සටන් පාඨ කියමින් සිදු කරන සාම්ප්‍රදායික දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇද වැටුණු බවයි පෙන්වාදී ඇත්තේ.

පසුගිය වසර දෙක තුළ ඇති කරගත් මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් ඉදිරියට ගෙන නොගියහොත් නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එබැවින් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට තමාට ඉදිරි වසර 05ක කාලය අවශ්‍ය බවද ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ Ask Ranil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පළවන වාර්තා සාවද්‍ය බවත්, අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.