අපවත් වී වදාළ ගණේගොඩ රතනජෝති නාහිමි ප්‍රදේශයට කළ මෙහෙවර අමරණීයයි-පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. ශාන්ත දසනායක

අපවත්වී වදාළ මහනුවර රාජපූජිත මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපසෝථාගාරයේ උපාධ්‍යාය ධුරන්දර පොල්පිතිගම ඓතිහාසික නාගොල්ල පුරාණ රාජමහා විහාරය, තිහව ගස්සන්දලුපොත පුරාණ විහාරය යන උභය විහාරාධිපති, පොල්පිතිගම ත්‍රෛනිකායික භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන සංඝ නායක, පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි, මුළු දිවයිනටම සාමවිනිසුරු හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගණේගොඩ රතනජෝති නාහිමියෝ ඉකුත් 05 වැනි දින අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (09) සවස පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සිදු කිරීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඉබ්බාගමුව, ගණේගොඩ, ගල්වානවත්ත ලිපිනයේ පදිංචිව සිටි ඩී. එම්. ලොකුබණ්ඩා හා ඩී. එම්. හේරත්මැණිකා යුවළට දාව 1955 පෙබරවාරි මස 11 වැනි දින මෙලොව උපන් ඩී. එම්. රත්නායක බණ්ඩා නමැති දස දෙනකුගෙන් යුත් පවුලේ හතර වැනියාය. කුඹුක්වැව ගස්සන් දලුපොත විද්‍යාලයෙන් අට වැනි ශ්‍රේණිය දක්වා සිප්සතර හදාරා 13 වැනි වියේදී ගිහි ජීවිතය අතහැර 1968දී මැල්සිරිපුර කැකිරිහේන්පිටිය රන්බණ්ඩා පොකුණ විහාරස්ථානයේදී කුලුගම්මන සීලරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ගණේගොඩ රතනජෝති නමින් පැවිදි දිවියට පිවිසුණහ.

පසුව 1975 වසරේදී මහනුවර මල්වතු පාර්ශ්වයේ උපෝසථාගාරයේදී උපසම්පදාවට පත්ව එම වකවානුවේදීම කුඹුක්වැව තිස්සව ගස්සන්දලුපොත විහාරයට වැඩම කොට එහි වැඩ සිටියදී එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හොබවමින් එම විහාරස්ථානය වැඩි දියුණු කරන්න කැපවීම් කළහ. පසුව පොල්පිතිගම ඓතිහාසික නාගොල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ වස් විසීම සඳහා 2002 වසරේ ජූලි මාසයේදී වැඩම කොට පසු කලෙකදී එහි විහාරාධිපති ධුරය හෙබවීමත් සමඟින් වනගතව තිබු මේ පුරාණ විහාරය පුරාවිද්‍යා දෙපාර්ත්තමේන්තුවේ අවධානය යොමු කොට කැණීම් සිදු කොට පෞරාණික නටබුන් රැසක් දැයේ දරුවන්ට දායාද කොට ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන විහාරස්ථානයක් බවට පත් කරවන්නට අනුපම සේවාවක් කළහ.

එමෙන්ම පොල්පිතිගම නගරය සැලසුම් සහගත විධිමත් නගරයක් ලෙසට දියුණු කරවන්නට, 17 වසක් පුරා විවෘතයක් නැතිව තිබු පොල්පිතිගම පොලිස් ස්ථානය ජනතා අයිතියට පවරන්නට, පොල්පිතිගම දිසා රෝහල මූලික රෝහලක් කරන්නට, වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකයක් එහි ස්ථාපිත කරන්නට, එම රෝගීන්ට ආධාර උපකාර කරන්නට, වයඹ පළාත් ඇළ සිහිනය යථාර්ථයක් බවට පත් කරවන්නට, නැති බැරි අසරණ පවුල්වලට පිහිට වෙන්නට, හිසට සෙවණක් නැති අයට ඉඩමක් දී නාගොල්ල පුදබිම වටා පදිංචිකරවන්නට, නැති බැරි පවුල් වෙත අත දෙන්නට, අන්තර්ජාල පහසුකම් නැති පෙදෙස්වලට සංඥා කුලුනු සවිකර එම සම්බන්ධතා ප්‍රදේශයට දෙන්නට, රට වටා ගංවතුර, නාය යෑම් ආදි විපත් සිදු වෙන විට එහි වැඩම කොට ආධාර උපකාර කරන්නට, රාජ්‍ය ආයතන හා සමීපව ඒවායෙහි අඩුපාඩු සොයා එම ගැටලු විසඳන්නට කළ අනුපම මෙහෙවර නිසා රතනජෝති නාහිමියෝ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන අතර පමණක් නොව ගම් දනව්වල ලොකු කුඩා කා අතරත් මතකයේ රැඳුණු, ප්‍රසිද්ධියක් ඉසුලූ හිමි නමක් බවට පත්ව සිටියහ.

තමන්ගේ සුඛ විහරණය පසෙකලා අන් අය වෙනුවෙන්ම දිවා රැය කැප කොට අල්පේච්ඡ දිවිපෙවතක් ගත කළ නායක හිමියන් 69 වැනි වියේ වුවත් නීරෝගි සුවයෙන් වැඩ සිටියදී නොසිතූ විලසට ප්‍රදේශයට, අපට අහිමිවීම දැරිය නොහැකි පාඩුවකි. දැනට නාගොල්ල පුරාණ විහාරයේ තැන්පත් කර ඇති උන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු අද (09) පොල්පිතිගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අති විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදු කිරීමට නියමිතය. නොසිතූ විලසට දැයෙන් සමුගත් අති ගෞරවනීය රතනජෝති නාහිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවනම පසක් වේවා!