රනිල්ගේ දරණාගම කාර්යාලයට ගිනි තැබූ සැකකරු අල්ලයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සදහා බියගම ආසනයේ දරණාගම ප්‍රදේශයේ විවෘත කරන ලද මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගිනි තැබූ බව කියන සැකකරු මීගහවත්ත පොලිසිය මඟින් පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ ගිනි තැබීම පෙරේදා (5) පස්වරුවේ සිදු කර තිබූ අතර, එය සිදු වී පැය 4ක් ගත වීමට මත්තෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මේ ගිනි තැබීමෙන් එම මෙහෙයුම් කාර්යාලයේ තිබු කටවුට් තුනක් හා කොඩි තුනක් විනාශ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නාරන්වල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) ඩබ්.කේ. විජේතිලක හා එහි මැතිවරණ අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) දිසානායක යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.