තරුණයින්ට අත්තටු ලබාදෙන විට ජවිපෙ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමුවා -ජනපති රනිල්

සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා තමා ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම නිසා මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ තරුණ තරුණියන්ට අත්තටු ලබා දෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා ද සිදු කළේ ඔවුන්ගේ කකුල්වලට දම්වැල් දැමීම බවයි.

මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අත්තටු තිබේනම් ඕනෑම තැනකට ඉගිලිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවත් සඳහන් කර සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මෙරට තරුණ ප්‍රජාව වෙනුවෙන් අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනතා විමුක්ති පෙරමුණ එදා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් ඝාතනය කළ බවත් ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 10ක පමණ පසුබෑමක් ඇති වූ බවයි පෙන්වාදී සිටියේ.

ජවිපෙ මෙම විනාශය සිදු නොකළා නම් අද රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන බව වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.