නායක පොප්ගෙන් නොදැවුණු ශතකයක්

පිට පිට තෙවැනි වරටත් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුවත් යළිත් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට පිරිනැමීමට ශ්‍රී ලංකා පිල කටයුතු කළේය. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් එංගලන්ත පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 221ක් රැස් කර සිටියේ ඕවර 44.1ක් පමණක් වැය කරමිනි.

ලන්ඩනයේ ඕවල් පිටියේදී බස්බෝල් ශෛලියේ ක්‍රීඩාවේ නිරත වූ එංගලන්ත පිතිකරුවෝ ඕවරයකට ලකුණු රැස් කිරීමේ වේගය 5.00ක් ලෙස රඳවාගෙන තිබිණි.

පළමු දිනයට තරගය නතර කරන විට ඔලී පොප් ලකුණු 103ක් සහ හැරී බෘෘක් ලකුණු 8ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

නායකත්වයට පත් වීමෙන් පසු සිය පළමු ශතකය රැස් කළ පොප් ඊයේ වාර්තා කළේ 7 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 103කට මුහුණ දුන් ඔහු හතරේ පහර 13ක් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගෙන තිබිණි.

බෙන් ඩකට් සමඟ එංගලන්ත ඉනිම ඇරඹූ ඩෑන් ලෝරන්ස්ට මේ තරගයේදීත් සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් ළහිරු කුමාර, ඔහු ලකුණු 5කට පිටියෙන් ඉවත් කළේ පැතුම් නිශ්ශංක උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අනතුරුව ඩෑන් සමඟ එක්වූ නායක පොප් පන්දු 100කින් ලකුණු 95ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ලකණු 86ක් රැස් කර සිටි ඩෑන්, මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. වේගවත් පිතිහරඹයක නිරත වූ ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් වැය කළේ පන්දු 79ක් පමණි.

අනතුරුව පොප්ට එක් වූ ජෝ රූට්ගේ සබඳතාව ලකුණු 51කින් නතර කරමින් මේ තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ රූට්ගේ ඉනිම ඊයේ ලකුණු 13කට සීමා කිරීමට ළහිරු කුමාර සමත් විය.

මේ තරගයට දිගින් දිගටම අයහපත් ආලෝක තත්ත්වය සහ වැසි තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වු අතර, පළමු කාර්තුවේදී ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 15ක් පමණි. වේලාසනින්ම ක්‍රීඩකයන්ට දිවා විවේකය ගැනීමටත් සිදු වූ අතර, පස්වරුවේ යළිත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට දිනයට නියමිත ඕවර සංඛ්‍යාවෙන් ඕවර 28.5ක් ඉතිරිව තිබිණි.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් මුල් තරග ද්විත්වයේදීම අසාර්ථක වූ නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් සහ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබිණි.

එංගලන්තය වෙනුවෙන් ඊයේ ජොෂ් හුල් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත්තේය. ඔහු මැතිව් පොට් වෙනුවට එක්කර තිබිණි.

අද තරගයේ දෙවැනි දිනයයි.