ජනපති අපේක්ෂක විවාදය අද

රට ගොඩගන්නේ කෙසේද යන මාතෘකාවෙන් යුතු මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

දින 03ක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයට මුල් දිනයේදී අපේක්ෂකයන් 06 දෙනෙකුට ආරාධනා කර තිබුණද ඊයේ පස්වරුව වන විටත් ඒ සඳහා කැමැත්ත පළ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ අරියනේත්‍රන් පාකියසෙල්වම් යන මහත්වරු පමණක් බව සඳහන්.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණද තමන්ට විවාදය සඳහා සහභාගී වීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුව වන විටත් විවාදයට සහභාගිවන බව තහවුරු කර නොමැති බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම විවාදය ප්‍රධාන රූපවාහිනී නාලිකා කිහිපයක සජීවීව විකාශය කිරීමට නියමිත අතර සමාජ මාධ්‍ය හරහාද එය සජීවීව විකාශය කිරීමට නියමිත බව සඳහන්.