ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතර වැඩිම ආදායම් බදු ගෙවන්නා ෂාරුක් ඛාන්

දකුණු ඉන්දීය නළු විජේයි දෙවැනි තැනට

ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ වසරේදි ආදායම් බදු වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 92ක් ගෙවා ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රුපියල් කෝටි 80ක් ආදායම් බදු ලෙස ගෙවූ දෙමළ සිනමාවේ සුපිරි නළු විජේයි දෙවැනි ස්ථානයේ පසුවන බව ද වාර්තා වේ. එහි තුන්වැනි ස්ථානයේ පසුවන්නේ රුපියල් කෝටි 75ක ආදායම් බදු ගෙවූ සල්මාන් ඛාන් බවත්, ප්‍රවීණ නළු අමිතාබ් භච්චන් රුපියල් කෝටි 71ක් ආදායම් බදු වශයෙන් ගෙවා එම ලැයිස්තුවේ සිව්වැනි තැන පසුවන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඉන්දීය ක්‍රිකට් පිලේ සුපිරි ක්‍රීඩක විරාත් රුපියල් කෝටි 66ක ආදායම් බදු ගෙවා පස්වැනි ස්ථානයේ පසුවන බව ද වාර්තා වේ. රුපියල් කෝටි 42ක් ගෙවූ බොලිවුඩ් නළු අජේ දේව්ගන් එම ලැයිස්තුවේ 6 වැනි තැනට පත්වී ඇතැයි ද, 7 වැනි ස්ථානයේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි රුපියල් කෝටි 38ක් ගෙවා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. රුපියල් කෝටි 36ක ආදායම් බදු ගෙවූ රන්බීර් කපූර් එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසුවන බවත්, රුපියල් කෝටි 28 බැගින් ගෙවූ බොලිවුඩ් නළු රිතික් රෝෂන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් පිළිවෙළින් 9 සහ 10 ස්ථානවල පසුවන බවත් වාර්තා වේ.