- කවුරුත් නොදන්නවා වුණාට වැනිලා කියන්නේ රත්තරන් වගේ දෙයක්:
- අපට අතහිත දුන්නේ ADB සහ RDB බැංකුයි
- සමගියෙන් බැඳුණු අපූරු ගොවි සංගමය:
කුළුබඩු ලොවේ රැජන යන විරුදාවලිය ලත් වැනිලා එකතු කර මහනුවර දිස්ත්‍රික්කයේ වැනිලා වගාකරුවන්ගේ සුබසෙත සලසන සමගියෙන් බැඳුණු අපූරු ගොවි සංගමයක් පසුගියදා අපට හමුවිය.
ඒ මුළු මධ්‍ය කඳුකරයේම වැනිලා වගා කරන පිරිසගේ අස්වැන්න වැඩි මිලට ලබා ගැනීමට පිහිටු වූ සංගමයකි. මහනුවර වත්තේගම මාර්ගයේ කිලෝමීටර් තුනක්, හතරක් ගමන් කර මඩවල පාරේ කිලෝමීටර් දෙකහමාරක් ගිය විට වත්තේගම, මීගම්මන ( බටහිර ) මේ අපූරු සංගමය පවත්වාගෙන යන නිවහන හමුවෙයි.
එහි පදිංචිව සිටින්නේ එසේ මෙසේ පුද්ගලයකු නොව, අද දවසේ නිදහසේ තම ජීවිතය ගත කරන දෙටු පුරවැසියෙකි. ඔහු කලක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක රාජකාරි කළ ප්‍රාදේශීය ලේකම්වරයෙකි.
ඔහුගේ දැනුම, පළපුරුද්ද වගකීම සහ කැපවීම මත ප්‍රදේශයේ ජනතාවට උදව් කිරීමට මේ පරෝපකාරී සංගමය බිහිවිය. ඔහු නමින් හිටපු ප්‍රාදේශීය ලේකම් ඒ.බී. මඩුගල්ල මහතායි.
අපි සංගමයේ උපදේශක ඒ.බී. මඩුගල්ල මහතාට සවන් දෙමු.
Òඅපේ ගම් පළාත් කෘෂි කටයුතුවල නිරත පිරිස් ජීවත් වන ප්රදේශයි. අපේ පැත්තේ ගම්මිරිස්, කොකෝවා, සාදික්කා, වසාවාසී, වැනිලා එකී මෙකී නොකී කුළුබඩු රාශියක් වගා කරනවා.
අපි වැඩිපුර වගා කරන්නේ අධික මිලක් ලැබෙන වැනිලා. මේ වැනිලා වගාකරුවන්ගේ එකමුතුවක් ඇති කළයුතුයැයි මං කල්පනා කළේ මීට අවුරුදු හතළිහකට කලින්. අපි ක්‍රමිකව වැනිලා වගාකරුවන්ගේ සංගමයක් ආරම්භ කළා.
ආරම්භයේ පටන් මෙහේ මූලික අරමුණ වුණේ වැනිලා වගාව ව්‍යාප්ත කිරීමයි. ගොවීන්ට හොඳ මිලක් ලබා දීමයි. වැනිලා කියන්නේ රත්තරන් වගේ දෙයක්. මෙහි වටිනාකම දන්න අය දන්නවා.
අපි ඒ පිරිස් දැනුම්වත් කළා. අපි වැඩි මිලක් ලැබෙන ලෙස වැනිලා වගා කර ඒවා මිල දී ගැනීමට තැනක් නිර්මාණය කළා. අපේ සංගමයට ඒකට මූලික ප්‍රාග්ධනයක් තිබ්බේ නැහැ. ඒ නිසා අප කලකිරුණේ නැහැ.
අපි වැනිලා වගාකරුවන්ගෙන් ටික ටික අස්වැන්න මිල දී ගත්තා.මේ ව්‍යාපාරික කටයුතු පටන් ගත්තේ වසර 2012 දී. වැනිලා ලැබෙන්නේ සීසන් ක්‍රමයට.සෑම අවුරුද්දකම නොවැම්බර් මාසයේ සිට මාර්තු වෙනකන් එක සීසන් එකක්.
අපේ සංගමයේ සාමාජික, සාමාජිකාවන් 2000ක් සිටියා. දැන් ඒ 2600ට, වැඩිවෙලා. අපට සැපයීම්කරුවෝ 2600ක් ඉන්නවා.
දැන් අපේ සංගමයේ සභාපති මගේ පුතා අයි.ඒ.බී. මඩුගල්ල මහතායි.
දැන් අපේ සංගමයේ වැඩ පුළුල් කළා. මහනුවර ගම්පොළ ගාල්ල, මාතර, බදුල්ල සාමාජිකයන් ඉන්නවා. අපි ගොවීන්ගෙන් මිල දී ගන්නා වැනිලා පිරිසුදුව ගුණාත්මකව වෙළෙඳපොළට නිකුත් කරන තෙක් රඳවා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරනවා. අප මේවා තම්බා වේළා හානි අවම වෙන ආකාරයට තබා ගන්නවා. ඒ සඳහා මෙහි වැඩ කරන පිරිසට අපි කියා දෙනවා. අපට වැනිලා අස්වැන්න තොග වශයෙන් ලබා ගැනීමට මුදල් තිබුණේ නැහැ. අපි ඒ සඳහා වත්තේගම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමනාකාරතුමා හමුවී ණය මුදලක් ඉල්ලා සිටියා. එතුමා ඒක අපට ලබා දුන්නා. ඒ අයට මේ වගේ ණය මුදල් ලබා දීමට උදව් කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබා දීමට එක්සත් ජනපද ඩොලර් මිලියන සියයක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ලබා දී තිබෙනවා. එම මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන දාසයක් හරහා ජනතාවට දෙනවා. ඒ අනුව අපි මේ ගොවි සංගමයට ණය මුදලක් දුන්නායැයි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්තේගම ශාඛාවේ ප්‍රධාන කළමනාකරු තාරක චතුරංග තල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.
අපි මෙලෙස මිල දී ගන්නා වැනිලා තොග වශයෙන් අපේ ගැනුම්කරුවන්ට ලබා දෙනවා. ඔවුන්ගෙන් අපට වැඩි මුදලක් ලැබෙනවා. ගොවියාටත් වැඩි මුදලක් දෙන්න අපි කටයුතු කරනවා.
අද වන විට ලෝකයේ වැනිලා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරමින් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් කරනවා. වටිනා බෙහෙත් හදනවා. සුවඳ විලවුන් හදනවා. ආහාර වර්ග රස කිරීමට ගන්නවා. ඒ අනුව මේවාට හොඳ ඉහළ ඉල්ලුමක් තිබෙනවා.
අපි ගොවි ජනතාවගේ අස්වැන්න ලැබෙන කාලයට වැඩි මිලකට මේවා මිලදීගෙන, අස්වැන්න අඩු කාලයට වැඩි මිලකට ගැනුම්කරුවන්ට ලබා දීම කරනවා. ඒ තුළින් අපි ලාභ උපයනවා.
අප ලබන ලාභය වගාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඔවුන්ගේම සුබසාධනයට බෙදා හදා ගන්නවා. වැනිලාවලට ලෝකයේ නෙදර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒවා සපුරාලීමට තරම් අප ශක්තිමත් විය යුතුයි. එසේ ශක්තිමත් වූ සංගමයක් ලෙස ඉදිරියට පා තැබීම අපේ අරමුණයි. ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්යක්ෂ Takafumi Kadono මහතා ප්රමුඛ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මධ්‍යම පළාතේ මේ ව්‍යවසායක සංගම් කටයුතු නිරීක්ෂණය කිරීමට පසුගියදා සංචාරයක නිරත වූහ. එහිදී අපට අනාවරණය කර ගැනීමට හැකි වූ එක් දෙය, කුළුබඩු ආදියට ලෝකයේ ඉහළ වෙළෙඳපොළක් හිමි බවයි.
ලෝක ඉල්ලුම සපුරාලීමට අපේ රටේ නිෂ්පාදනවල ප්‍රමිතිය,ගුණාත්මක බව, ඒවා නිසි කලට වේලාවට ගැනුම්කරුවන් වෙත සැපයීම සහ මනාව සිත් ආකර්ෂණය වන ලෙස ඇසුරුම්කරණය කළ භාණ්ඩ ලෙස අපගේ ද්‍රව්‍ය පිටරට යැවිය යුතුය. ඉන් අපට අවශ්‍ය තරම් ඩොලර් ආදායම් ලබාගත හැකිය.
ඒ සඳහා අපේ රටේ කෘෂිකර්මාන්තයේ නව්‍යකරණයකට භාජනය කළයුතු බව අප සමඟ මාධ්‍ය නිරීක්ෂණ චාරිකාවට එක් වූ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේම අදහස විය.