වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දීම තම අරමුණ බවත් ඒ කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පස් වසරක සැලැස්මකින් ආයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්රමයේ උන්නතියට පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා මෙරට සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද ආයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර ගන්නා බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (06) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමිනි.
ජනපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි,හෝමියෝපති වෛද්‍යවරුන් දේශීය ඖෂධ නිෂ්පාදකයන්, අපනයනකරුවන්, කර්මාන්තකරුවන්,වෙළෙඳසල් හිමියන් ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ එකමුතුවෙන් මේ සමුළුව සංවිධාන කර තිබිණි.දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වූ යෝජනාවලිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
සමුළුව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.2022 වසරේ සුව කිරීමට තමා වෙත භාර දුන් ලෙඩා දැන් නැගිට සිටින බවයි. නමුත් සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් පැමිණ සුව වූ ලෙඩා නැවත ලෙඩ කිරීමට සූදානම් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔහුගේ අගුණ බෙහෙත බිව්වොත් නැවත කිසිදින ලෙඩා සුවපත් කිරීමට නොහැකි වන බව ද පෙන්වා දුන්නේය.
2022 වසරේදී සුව කිරීමට මටත් ලෙඩෙක් භාර දුන්නා. පළමුව හඳහන බලන්න වුණා. ඉන්පසුව කෙසේ හෝ පත්තුවක් බැන්දා. තිත්ත කසාය දෙන්න වුණා. වසර දෙකක් ගත වන විට දැන් ලෙඩා නැගිටලා ඉන්නවා.
දැන් සුදුසුකම් නැති වෙදෙක් ඇවිත් සුව වූ ලෙඩා නැවත ලෙඩ කරන්න උත්සාහ කරනවා. ඔවුන් දෙන්න හදන බෙහෙත ඇඟට ගුණ නැහැ. බිව්වොත් ඉවරයි. නැවත ගොඩගන්න බැරි වෙනවා.ඒ නිසා සුව වූ ලෙඩා ඒ බෙහෙත බොනවද නැද්ද කියා තීරණය කළ යුතුයි.ඒ නිසා අපේ බලාපොරොත්තුව ලෙඩා අවදානමේ නොදමා තවත් සුවපත් කර ගැනීමයි.
රටකට මෙවන් ලෙඩක් හැදුණු විට ලෙහෙසි පහසු නැහැ.ලෙඩා සුව කරන්න අපට පිටිනුත් වෛද්‍යවරුන් ගේන්න සිදු වුණා. වොෂින්ටන් නුවරින්,ටෝකියෝ ඇතුළු රටවල් 18කින් අපි වෙද මහත්වරු ගෙනාවා. අසීරුවෙන් ඖෂධ දී රෝගය සුවපත් කරගත් විට එක් අයෙක් පැමිණ කියනවා මම මේ ඔක්කොම වෙදකම් දන්නවා කියලා.ඔහු දෙන්න හදන බෙහෙත් වට්ටෝරුව දිහා බැලුවාම බය හිතෙනවා. ඒ පිළිබඳ තීරණය තිබෙන්නේ ජනතාවටයි.
මට මේ සමුළුවට ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලුදෙනා මෙහිදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒවා ක්‍රියාත්මක කිරීම ගැන අප සාකච්ඡා කරනවා. අප දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කර දියුණු කළ යුතුයි. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු මහතා යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ පළමු කමිටු වාර්තාව නිකුත් කළා. ඉන්පසුව එවන් කටයුත්තක් සිදු වී නැහැ.
දේශීය වෛද්‍ය ක්රමයේ පාරම්පරික වෛද්‍යවරුන් වගේම ආයුර්වේද පීඨයෙන් පිට වූ පිරිස ද සිටිනවා. අතීතයේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා සාර්ථක වුණා. එම ක්රමයන්හි යම් වටිනාකමක් තිබුණා. වසර 1000, 2000ක් මේ සෞඛ්‍ය ක්‍රමය මෙරට මෙන්ම දකුණු ආසියාව පුරා ව්‍යාප්තව පැවතියා. දැන් ඉන්දියාව දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ බොහෝ පර්යේෂණ කරනවා. අපේ රටේ එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ පර්යේෂණ කරමින් එහි ඉතිහාසය අධ්‍යයනය කරමින් ඉදිරියට යෑමට අවශ්‍යයි. පාරම්පරික වෛද්‍යවරුන් ද මේ සඳහා එක් කර ගත යුතුයි. ඔවුන්ටද පිළිගැනීමක් දිය යුතුයි. ඒ සමඟම ජ්‍යොතිෂ්‍යය ද මීට සම්බන්ධ කරගත යුතුයි. මේ සියල්ල එකට බද්ධව තිබෙනවා. එය වෙන් කළ නොහැකියි. මේ පසුබිමේ අප නව රාමුවක් සකස් කළ යුතුයි. මේ සෑම අංශයක්ම පිළිගෙන ඒවා ලියාපදිංචි කිරීමට නව නීතියක් ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.මේ කටයුතු සඳහා අපට ආයුර්වේද දෙපාර්තමේන්තුව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ආයුර්වේද පිළිබඳ ජාතික සභාවක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. මේ ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුම් සහ පස් වසරක සැලැස්මක් ඇති කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රතිසංවිධානය පිළිබඳ අප අලුතින් සිතිය යුතුයි. සියලු කොට්ඨාස එකට එක් කර ගනිමින් තිබෙන සම්පත්වලින් මේ කටයුතු ආරම්භ කර ඉදිරියට ගෙන යමු.
වෛද්‍ය විද්‍යාවක් ලෙස අයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දීම මගේ අරමුණයි. ඒ සමඟ මේ වෛද්‍ය ක්‍රම සොයාගෙන සංචාරකයන් අපේ රටට පැමිණෙනවා. ඉන්දියාවේ එය ක්‍රියාත්මකයි. අපත් එම ක්‍රමය අනුගමනය කළ යුතුයි. අපේ දේශීය වෛද්‍ය ක්රමයේ විද්‍යාත්මක පදනම සොයාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ සඳහා පර්යේෂණ අවශ්‍යයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් නවීකරණයකින් යුතුව මේ ක්ෂේත්රය දායක කරගත යුතුයි.
තායිලන්තය වැනි රටවල ප්‍රධාන හෝටලයකට ගිය විට එම ආයුර්වේද සත්කාර ලබා ගැනීමට හැකියි. අනාගතයේදී අපත් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා සංචාරක ක්ෂේත්රයට ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුළත් කළ යුතුයි. එමඟින් අපට විදේශ විනිමය ඉපැයීම වැඩිකර ගැනීමට හැකියි. චෙන්නායි වැනි නගරවල අද ජ්‍යොතිෂය ක්‍රමය ද දියුණු කර තිබෙනවා. මේ සම්ප්රදායයන් සියල්ල එක් කර ගනිමින් අප මේ ක්ෂේත්රය දියුණු කළ යුතුයි. ඒ නිසා ආයුර්වේද පිළිබඳ ජාතික සභාව ඇති කිරීම සම්බන්ධව අපට උපදෙස් අවශ්‍යයි. සියලුදෙනාට එක්ව කටයුතු කිරීමට හැකි වන අයුරින් මේ සභාව ඇති කිරීමට අවශ්‍යයි.
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා –
දේශීය වෛද්‍ය ක්ෂේත්රය දියුණු කිරීමෙන් ජාතික ආර්ථිකයට ඉතා ඉහළ දායකත්වයක් දිය හැකියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ සඳහා අවශ්‍ය විවිධ නෛතික ප්‍රතිසංස්කරණ කිරීමට හැකි වූ බව මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට කැමතියි. ඒ තුළින් දේශීය වෛද්‍ය ක්ෂේත්රය අපනයන ආදායම් උත්පාදනය කළහැකි කර්මාන්තයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.
ඩොලර් මිලියන 300කට වැඩි විදේශ විනිමය උත්පාදනය කිරීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා ලැබෙන ආයෝජන මෙන්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ගුණාත්මක ඖෂධ අපනයනය කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමට හැකි වන පරිදි දේශීය වෛද්‍ය ක්ෂේත්රය වැට් බදුවලින් තොරව පවත්වා ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලැබුණු අවස්ථාව අගය කළ යුතුයි. තවද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම සීමාවාසික ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දුන් ගැටලු විසඳීමට එතුමා ගත් පියවර ද මෙහි පැමිණ සිටින සියලු දෙනා වෙනුවෙන් සිහිපත් කරනවා.
දේශීය වෛද්‍ය ක්ෂේත්රය නඟාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා දක්වන අවධානයත්, ඒ යටතේ ආරම්භ කරන ලද වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභිලාෂයත් ඇතිව ඉදිරි වසර පහ සඳහාද රනිල් වික්‍රමසිංහ ජනාධිපති නැවතත් ජනාධිපති ධුරයට පත් කිරීමට දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ සහාය ලබා දෙන බව ද මා මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.
අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහත්වරුන්ද, දේශීය ඖෂධ නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්, ඖෂධසල් හිමියන්, ඖෂධ සේවා සපයන්නන් ඇතුළු පාරම්පරික ආයුර්වේද, යුනානි, සිද්ධ සහ හෝමියෝපති ආදී දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.