මන්කිෆොක්ස් රෝගයට එරෙහි පළමු එන්නත් තොගය කොංගෝවට

මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය කොංගෝව වෙත රැගෙනවිත් තිබෙනවා.

එම රෝග ව්‍යාප්තිය පළමුවෙන්ම සිදුවූ රට වන කොංගෝව වෙත මෙලෙස රැගෙනවිත් ඇත්තේ Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැනටමත් ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස මන්කිෆොක්ස් රෝග ව්‍යාප්තිය නම් කර ඇති අතර මෙම එන්නත් මාත්‍රාවන් ලබාදීම මගින් එය වළක්වාලීමට හැකිවනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා.

අදාළ එන්නත් වර්ගය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ බහුලව භාවිත වන්නක්.

මෙම වසරේ ගත වූ කාලය තුළ පමණක් මන්කිෆොක්ස් රෝගීන් 19,170 දෙනෙකු වාර්තා වී තිබෙනවා.