සියඹලාණ්ඩුව බඩල්කුඹුර මොනරාගල ප්‍රා. සභා පොහොට්ටු මන්ත්‍රීන් 36කගේ සහාය රනිල්ට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මොනරාගල මැතිවරණ බලප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය සභා තුන නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් 36 දෙනකුගේ සහාය ලැබෙන බව ඊයේ (05) දහවල් මොනරාගල වික්ටරි ඉන් පෞද්ගලික නිවාඩු නිකේතනයකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය.

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වන ආර්.එම්. රත්නවීර (මොනරාගල), සමරසිංහ අබේසේකර (බඩල්කුඹුර), උප සභාපතිවරුන් වන නිශ්ශංක පුංචි මහත්තයා (සියඹලාණ්ඩුව), ප්‍රදීප් විජේරත්න (මොනරාගල) මහත්වරුන් ඇතුළු එම ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු‌ මෙම හමුවට සහභාගි වී සිටියහ.

රට අරාජික තත්ත්වයට පත්වී බංකොලොත්ව තිබියදී පොහොට්ටුවේ නායකයන් තනතුරු හැරදමා ගිය බවත් ඒ අවස්ථාවේදී සියලු බාධක සහ අමාරුකම් හොඳින් දැනගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් බවත් එහිදී මොනරාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.එම්. රත්නවීර මහතා පැවසුවේය.

“ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, ආහාර පෝලිම් නැති කරමින් රට ඔසවා තැබුවා. රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කිරීමට මූලිකව කටයුතු කළේ බැසිල් රාජපක්ෂ මහතායි. පාර්ලිමේන්තුවේ සියලු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කැඳවා ඔහුට ඡන්දය දෙන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුවයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත්තේ. ඔහුගේ දැනුම, පරිණතභාවය, ජාත්‍යන්තර පිළිගැනීම ප්‍රයෝජනයට ගනිමින් බංකොලොත්භාවයට වැටී තිබූ රට ගොඩගත්තා. එවැනි නායකයකු ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ යුතුකමක් නොවේ. තව වසර පහකට ඔහුට රට කරගෙන යෑමට ඉඩදිය යුතුයි” යැයි ද කීවේය.