සංචාරකයන් පැමිණීම අඩු වීම නිසා ඔන්ලයින් වීසා ගැන යළි අවධානය

විදේශ සංචාරකයන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම සැලකිල්ලට ගෙන මෙම වසරේ අප්‍රේල් 17 වැනිදාට පෙර පැවති තත්ත්වයට සමාන වන ආකාරයේ මාර්ගගත ක්‍රමයට වීසා අයදුම් කිරීම සහ පෙර පැවති ගාස්තු සහ අයකිරීම්වලට වීසා ලබා දීම කෙරෙහි සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

එසේම සංචාරකයන් සඳහා තානාපති කාර්යාලයන් මඟින් වීසා පහසුකම් ලබා දීම සහ පැමිණීමේදී වීසා (on arrival) ලබා ගැනීමේ පහසුකම් සැලසීමට පියවර ගැනීමට ද එම ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වකරුවන් සමඟ අමාත්‍යාංශයේදී ඊයේ (05) පැවැත්වූ සාකච්ඡාවකදී යෝජනා වී තිබේ.

මෙම පියවර ගැනීමෙන් මේ වන විට ගුවන්තොටුපොළේ පවතින දිගු පෝලිම් සහ ගුවන්තොටුපොළේ ප්‍රමාණවත් පහසුකම් නැති වීම නිසා සංචාරකයන්ට සිදු වන අපහසුතාවන් මඟහැරී යනු ඇති බැවින් පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදන මෙන් සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.