ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකනින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පසුගිය වසරේ සහභාගිවූ ආසියානු කුසලාන කාන්තා නැඟී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ නායිකාව ලෙස සත්‍යා කටයුතු කළ අතර, හොංකාංහිදී පැවති එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ හැකි වූයේ එක් තරගයක් පමණි. අවසන් පූර්ව තරගයද ඇතුළු ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සෙසු තරග 4 වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.

රත්ගම දේවපතිරාජ විදුහලෙන් පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන 25 හැවිරිදි සත්‍යා 2020 වසරේ පෙබරවාරි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් දිනාගත් අතර මේ වන තෙක් ක්‍රීඩා කර ඇති එකම ජාත්‍යන්තර තරගය ද එයයි.

15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ උපනායිකාව ලෙස මල්ෂා ෂෙහානි කටයුතු කරන අතර, ජාතික පිල නියෝජනය කරන කෞෂානි නුත්‍යාංගනා, ඉමේෂා දුලානි සහ තාරිකා සෙව්වන්දි ද මේ සංචිතයට එක්ව සිටිති.

ශ්‍රී ලංකා-බංග්ලාදේශ කාන්තා ‘ඒ’ එක්දින තරගාවලිය මේ ඉරිදා (8) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, දෙවැනි සහ අවසන් තරගය 10 වැනිදා කොළඹ තර්ස්ටන් පිටියේදී පැවැත්වේ.

මේ අතර තරගාවලියට එක් වීම සඳහා බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම ඊයේ මෙරටට පැමිණියේය.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතය – සත්‍යා සන්දීපනී (නායිකාව), මල්ෂා ෂෙහානි (උපනායිකාව), කෞෂානි නුත්‍යාංගනා, පියුම් වත්සලා, නිලක්ෂනා සඳමිණි, ඉමේෂා දුලානි, නෙත්මි සේනාරත්න, මල්කි මදාරා, දෙව්මි විහංගා, නිමාෂා මදුෂාණි, චේතනා විමුක්ති, තාරුකා ෂෙහානි, තාරිකා සෙව්වන්දි, අමාධි විජේසිංහ, සඳලි වීරසිංහ.