ශ්‍රී ලංකාවට එන ‘බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර්‘ යානාව

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range})වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ලබන ඉරිදා(08) ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වීමට නියමිතය.

එය ඉදිරියේදි ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (NO 3 Maritime Squadron) අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඇමරිකානු එක්සත් ජනපද රජය අතර පවත්වනු ලැබු සාකච්ඡාවන්හි දි ඇමරිකා එක්සත් ජනපද රජයෙන් සමුද්‍රිය නිරික්ෂණ වර්ගයේ ගුවන් යානාවක් ලබා ගැනීම පිළිබද අවධානය යොමු විය. ඒ පිළිබද 2019 වර්ෂයේ සිට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වනු ලැබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER වර්ගයේ ගුවන් යානයක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීම සිදු කෙරුණි.

බහු කාර්ය ගුවන් යානාවක් ලෙස කටයුතු සිදු කිරිමට හැකියාව ඇති බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER ගුවන් යානය පිළිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ගුවන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ගෙන් සැදුම් කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයේදි අධ්‍යනය හා පුහුණුව ද ලබා ඇත.

බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twin-engine) සහිත එක් ගුවන් ගමනකදි නාවික සැතපුම් 1806 දුරක් ගමන් කිරිමේ හැකියාවක් ඇති නවින නිරික්ෂණ ගුවන් යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය ඇමරිකාවේ Textron Aviation ගුවන් සමාගමේ නිෂ්පාදනයක් වේ.

ශ්‍රී ලංකා ගුවන් සීමාව ( Flight Information Region – FIR ) හා සුවිශේෂි ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුළ බීච් කින්ග් එයාර් 360 ගුවන් යානා ඵලදායී ලෙස යොදාගනිමින් සමුද්‍රිය වසම් දැනුවත් කිරිමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාල රාජකාරින් වන සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම් (Maritime and Coastal Surveillance Operations) බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම් (Intelligence Surveillance Reconnaissance ISR ) මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම් (Humanitarian Assistance and Disaster Relief HADR) සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search and Rescue Operations), සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය (Maritime Pollution Monitoring and Control) කිරීමේ කටයුතු පූළුල් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්ම වන ගුවන් බලය ඵලදායී ලෙස යෙදවීම තුළින් ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සදහා කටයුතු කරනු ඇත.