විත්තිකරුවන් 9කට පෙනී සිටින රජයේ නීතිඥයා නඩුවෙන් ඉවත් වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්තිකරුවන් නවදෙනකු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥවරයා පෞද්ගලික හේතුවක් මත තවදුරටත් පෙනී නොසිටින බව ඊයේ (05) අධිකරණයට දන්වන ලදී.

මෙලෙස නව නීතිඥවරු පත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ පාස්කු නඩුවේ 3, 6, 7, 8, 11, 18, 19 සහ 20 වැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥ එන්.එම්. සහීඩ් මහතා ඉවත් වීම නිසාය.

විත්තිකරුවන් වෙනුවෙන් රජයේ වියදමින් උපදේශකයන් පත් කළ යුතුද නැතහොත් පෞද්ගලිකව නීතිඥ සහාය ලබාගත හැකිද යන්න විනිසුරුවරු විමසා සිටීම කළේය. තමන්ට පුද්ගලිකව නීතිඥ සහාය ලබා ගත හැකි බව ප්‍රකාශ කළ එම විත්තිකරුවන් නවදෙනා ඒ සඳහා සාධාරණ කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

11 වැනි විත්තිකරු වූ කාලිබ් සමීර් (අවු. 29) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටියදී 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කළ පාපෝච්චාරණයක් ස්වේඡාවෙන් කළ එකක් නොවන බවට නීතිඥ එන්.එම්. සහීඩ් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විභාගයේදී පවසා සිටින ලදී.

ඒ අනුව විත්තිකරු එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කළේ ද යන්න විභාග කිරීම සඳහා විනිසුරු මඬුල්ල වෝයර් ඩයර් පරීක්ෂණයක් පැවැත්වීය. දීර්ඝ වශයෙන් පැවැති එම පරීක්ෂණයේදී කාලිබ් සමීර් එම ප්‍රකාශය දී ඇත්තේ ස්වේච්ඡාවෙන් බවට අධිකරණය පිළිගැනීම කළේය.

පාස්කු විත්තිකරුවන් වෙනුවෙන් රුෂ්ඩි හබීබ්, ඉමිටියාස් වහාබ්, රිස්වාන් උවයිස් යන රජයෙන් පත් කළ නීතිඥවරු තවදුරටත් පෙනී සිටිති.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මෙම නඩුව විභාග වේ.

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත. නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මිය ගොස් ඇති බව පසුව අනාවරණය විය.

ඊයේ (05) නඩුව විභාගයට ගත් අවස්ථාවේ 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විත්තිකරු වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීම නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඇතුළු ලිපි ලේඛන භාරදීමට අවසර ඉල්ලා සිටියේය. නීතිඥවරයා එම ලේඛන භාරදීමේදී බන්ධනාගාර අධිකාරිය සමඟ අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. නඩුව මෙම මස 24දා යළි විභාග වේ.