මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ශ්‍රීලනිප සමාජිකත්වය තහනම් කිරීමට අදාළ විරෝධතා ගොනු කරන්න-නිමල් සිරිපාල සිල්වාට අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිත්වය තහනම් කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළව විරෝධතා ගොනු කරන ලෙස එම පක්‍ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (5) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික දයාසිරි ජයසේකර මහතා කළ පැමිණිල්ල සලකා බැලීමෙන් පසු අධිකරණය මෙලෙස නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන නිමල් සිරිපාල ද සිල්වා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාරථී දුෂ්මන්ත මිත්‍රපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන විත්තිකරුවන්ට බලපාන පරිදි මෙම නියෝගය ලබාදෙන ලදී. අදාළ විරෝධතා සැප්තැම්බර් නවවැනි දිනට පෙර ගොනු කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කළේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් කරුණු දක්වනු ලැබුවේ, පැමිණිලිකරු වෘත්තියෙන් නීතිඥවරයෙක් වන අතර 2020 අගෝස්තු මස පැවති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තවමත් ක්‍රියාකාරී සාමාජිකයෙක් බවය.

2019 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර දරන බවත්, 2004 වර්ෂයේ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුවද එම තනතුරින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වයඹ පළාත් සභා මැතිවරණයට තරග කළ බවත් ඡන්ද 336,000ක් ලබා ගනිමින් වයඹ පළාත් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වූ බවත්ය. මෙලෙස රටේ පැවති විවිධ දේශපාලන අර්බුද මැද වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා සමඟ එක්ව ක්‍රියා කරමින් ,ප්‍රතිපත්තිවලට අනුකූලව සිටින විට මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම, පැමිණිලිකරුට පක්ෂ ලේකම්වරයා වශයෙන් තවදුරටත් වැඩ කිරීමට හැකියාව නොදීම, විනය පරීක්ෂණ පැවැත්වීම නොකළ යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරුවන් හට සිද්ධියට අදාළව විරෝධතා ගොනු කරන ලෙස නියෝග කළේය.