ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී මාලිමාවට උතුර දකුණ මාරු වේවි-සජබ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර

මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මාලිමාවේ උතුර දකුණ මාරු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ජවිපෙට ජනතාව එදත් අදත් පවතින බිය නිසා අනුර කුමාර ඇතුළු පිරිස ජාතික ජන බලවේගය නැමති රෙද්දෙන් ජනතා විමුක්ති පෙරමුණ වසා දැමූ බවත් කොයි මොහොතක හෝ ඇතුළත ඉන්නා නියම සතා එළියට පනින බවත් ඒ මහතා කීය.

වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පැවැති ජනහමුවක දී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එසේද පැවැසීය. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය. පසුගිය මැතිවරණ ගණනාවකදී ජවිපෙට 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැරි වුණා. එහෙම හිටපු කණ්ඩායමක් කොහොමද එකපාරටම 50 %ක් ඡන්ද ගන්නේ. අනුරලාට ඕනෑ විපක්ෂයේ ඉන්නයි. විපක්ෂ නායක වගේ එකක් නම් අනුරට ගැළපෙනවා. සජිත් ප්‍රේමදාස සැප්තැම්බර් 21 වැනිදා ජනතා ඡන්දයෙන් මේ රටේ 09 වැනි විධායක ජනාධිපති වුණාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඒ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂ නායකකම ගන්න සටනක් දෙන්න කියා තමයි අනුරට කියන්නේ.

ජවිපෙට හැමදාම ඕනෑ ප්‍රශ්න විසඳන්න නොවෙයි ප්‍රශ්න ඇති කරන්නයි. පාලන බලයක් අරන් ප්‍රශ්න විසඳන්න ඒ අයට පුරුද්දක් නැහැ. රටේ ප්‍රශ්නයක් නැත්නම් ජවිපෙ නායකයන්ට නින්ද යන්නේ නැහැ. ජනාධිපතිවරණය ඉවර වුණු ගමන් මාලිමාව ඉවරයි. ඒ අය එක්ක එකතු වෙලා ඉන්න ජවිපෙ නොවන අය ඔතැනින් අයින් වෙනවා. ඊට පස්සේ පරණ පුරුදු ජවිපෙ කණ්ඩායම තමයි ඉතුරු වෙන්නේ.

මේ රටේ ජනාධිපති තෝරා පත් කර ගන්නේ ජනතා ඡන්දයෙන් මිස සෝෂල් මීඩියාවල කමෙන්ට්ස්වලින් නොවෙයි. දැන් අනුර සෝෂල්මීඩියා ජනපති වෙලා ඉන්නේ. සැප්තැම්බර් 21 වැනිදා වෙනකම් අනුරට මේ සිහිනය දකින්න පුළුවන්.

නීතිගරුක සමාජයක් හදන්න කතා කරන ජාතික ජන බලවේගය මොනතරම් නම් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා ද?, එකපිට දවස් දෙකකදී මහනුවර ස්ථාන දෙකක දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය ජාතික ජන බලවේගයට අවවාද කළා. අනිත් අයට ඇඟිල්ල දික් කරද්දී තමන් දිහාට ඇඟිලි හතරක් එල්ල වෙලා තිබෙන බව අනුර කුමාර,ලාල් කාන්ත ඇතුළු කණ්ඩායම තේරුම්ගත යුතුයි.