කෝලි වසරකදී රජයට ගෙවූ ආදායම් බද්ද කෝටි 234ක්

විරාත් කෝලි 2024 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින් එරට රජයට ඉන්දීය රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 234ක්) බදු මුදල් ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව පෙන්වා දෙයි.

මේ වසරේ මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී මේ බදු මුදල් ගෙවීම ගණනය කර ඇතැයි සඟරාව සඳහන් කර සිටී. 35 හැවිරිදි කෝලිගේ වාර්ෂික ආදායම කෝටි 1900ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6746ක්) ඉක්මවයි. එබැවින් ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතර වැඩිම බදු ගෙවන පස් වැන්නා බවට කෝලි පත්ව තිබීම විශේෂත්වයකි.

කොල්කටා නයිට් රයිඩර්ස් සම හිමිකරු බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවෙයි. කෝටි 92ක විශාල මුදලක් ෂාරුක් ඛාන් බදු වශයෙන් ගෙවා ඇති අතර, සුපිරි නළු සල්මන් ඛාන් (කෝටි 75ක්) සහ අමිතාබ් බච්චන් (කෝටි 71ක්) ඉහළම බදු ගෙවන ප්‍රසිද්ධ පුද්ගලයන් අතර සිව්වැනි හා පස්වැනි ස්ථානවල සිටිති. බොලිවුඩ් නළු අජේ දේව්ගන්ගේ රුපියල් කෝටි 42ක බදු ගෙවා ඇති හෙයින් තෙවැනි ස්ථානයේ සිටී.

ඉන්දීය පිලෙන් සමුගෙන අයිපීඑල් පමණක් ක්‍රීඩා කරන එම්එස් දෝනි කෝටි 38ක් සහ ‘ක්‍රිකට් දෙවියා’ ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් කෝටි 28ක් බදු මුදල් ලෙස ගෙවා ඇතැයි සඳහන් වේ. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි (රුපියල් කෝටි 23ක්) හර්දික් පාණ්ඩ්‍යා (රුපියල් කෝටි 13ක්) සහ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් (රුපියල් කෝටි 10ක්) බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවේ සිටිති.