ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධි කේන්ද්‍රයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සියලු දත්ත ඇතුළත් ‘බුද්ධි කේන්ද්‍රයක්’ විවෘත කරයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධිතව මේ නව බුද්ධි කේන්ද්‍රය විවෘත කෙරිණි. ලොව සියලු ක්‍රිකට් කණ්ඩායම්වල හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු මේ බුද්ධි කේන්ද්‍රය මඟින් විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී.

ක්‍රීඩකයන් පන්දුවට පහරදෙන ආකාරය, ඔවුන් භාවිත කරන ක්‍රමවේද හා ඔවුන් දැවී යන ආකාරය හඳුනාගැනීමට සමත් අති නවීන තාක්ෂණය මේ බුද්ධි කේන්ද්‍රය සතුව පැවැතීම විශේෂත්වයකි.

ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාව තුළ ඇති පහසුකම්වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා විශ්ලේෂණ මධ්‍යස්ථානයක් ලෙස මේ කේන්ද්‍රය ක්‍රියා කරයි. කුසලතා වර්ධනය සහ පුහුණු කිරීම වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළුවලදී නවීන තාක්ෂණයෙන් යුත් වීඩියෝ විශ්ලේෂණ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ලබාගත හැකිවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් නව පහසුකම පසුගියදා විවෘත කළ අතර, උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද හා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.