ඔබේ ජන්දය අවලංගු වන හේතු

අපේ රටේ මැතිවරණ පුරාණය අවුරුදු අනූවද ඉක්මවයි. පළමු සර්ව ජන ඡන්දය පැවැතුනේ 1931 වර්ෂයේදීය. එතැන් සිට අද දක්වා මැතිවරණ ක්‍රමය විවිධ වෙනස්කම්වලට ලක්ව තිබේ. මුලින්ම පක්ෂ හෝ ඡන්ද සලකුණු නොතිබිණි. තිබුණේ එක් එක් අපේක්ෂකයන්ට අදාළ වන වර්ණය. අදාළ වර්ණය ඇති අපේක්ෂකයාගේ ඡන්ද පෙට්ටිය අදාළ වර්ණයෙන් සරසා තිබිණි. ඉන්පසු පක්ෂ ක්‍රමය ආරම්භ වූ අතර ඒ අනුව දේශපාලන පක්ෂ අනුව අපේක්ෂකයන් මැතිවරණය සඳහා තරග කළහ. 1947 මහ මැතිවරණය වන විට මෙරට ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් තිබිණි.

එනම් එක්සත් ජාතික පක්ෂය මූලික කරගෙන දකුණේ දේශපාලන කඳවුර සහ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළත් කණ්ඩායම වම ලෙසද හඳුන්වන ලදි. එදා මහ මැතිවරණයෙන් රටේ නායකත්වය පත් වූ අතර ඒ සඳහා මැති සබයේ සරල බහුතරය දිනා ගනු ලබන මන්ත්‍රීවරයාට අගමැති ලෙස පත් වීමට හැකියාව ලැබිණි. ඒ ආකාරයට ගමන් ගත් මැතිවරණ ක්‍රමය පූර්ණ වෙනසකට ලක් වන්නේ 1977 වර්ෂයෙන් පසුවය. එතැන් සිට පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට සමානුපාතික ඡන්ද ක්‍රමයද ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව තරග කරන අපේක්ෂකයකු හෝ පක්ෂයකින් තරග කරනු ලබන අපේක්ෂකයකුට ඡන්දය ලබා දීමට අවස්ථාව ලැබේ. දැන් එළඹ තිබෙන්නේ මෙරට අටවන ජනාධිපතිවරණය සඳහා වූ කාලයයි. ජනාධිපතිවරණයට තවත් ඉතිරිව තිබෙන්නේ සති තුනකටත් අඩු කාලයකි. දැන් ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායක උනන්දුව වේගයෙන් ඉහළ යමින් තිබේ. මැතිවරණ නිරීක්ෂකයන් අනුමාන කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයේදී 85% ආසන්න ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළට පැමිණෙතැයි අනුමාන කෙරේ.

අද වන විට සමාජය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම සහ එහි තිබෙන ගැටලුදායක තත්ත්වයන් පිළිබඳව විශාල කතාබහක් ඇතිව තිබේ. ජනාධිපතිවරණයට අප කෙතරම් උනන්දු වුවද නිසි ලෙස නිසි ක්‍රමයට අප ඡන්දය ප්‍රකාශ නොකළහොත් සිදුවන්නේ ඡන්දය ඉවත යාමකි. එනිසා අප ඡන්දය භාවිත කරන්නේ කෙසේද එම ඡන්දය නිසි ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය.

ඔබ විශාල අපේක්ෂාවක් සිතෙහි දරා ඡන්දය භාවිත කළද අප අතින් සිදුවන සුළු අත්වැරැද්දක් සිදුවුවහොත් අපගේ වටිනා ඡන්දය අහෝසි වීමේ හෝ ප්‍රතික්ෂේප වීමේ අවදානමක් තිබේ.

මේ ආකාරයට ඡන්දය ප්‍රතික්ෂේපවන සහ අහෝසිවන අවස්ථා හතක් හඳුන්වා දී තිබේ. එනිසා මෙම වැරැදි හත කළහොත් සිදුවන එකම දේ වන්නේ ඔබේ ඡන්දය ප්‍රතික්ෂේප වීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදුවන අපරාධයකි. එබැවින් අපේ ඡන්දය නිසි ලෙස සුරක්ෂිත කර ගැනීම සැමගේ වගකීමකි.

1. කිසිම අපේක්ෂකයකුට ඡන්දය ලබා නොදීම

2. එක් අපේක්ෂකයකුට වඩා ඡන්දය කතිර මඟින් භාවිත කිරීම.

3. එක් අපේක්ෂකයකුට කතිරයකින් මනාපය පළ කර දෙවන සහ තුන්වන මනාප ඉලක්කමෙන් භාවිත කිරීම.

4. ඡන්ද පත්‍රිකාවේ හඳුනාගත නොහැකි දේවල් ලියා තැබීම.

5. එක ඉලක්කම හැර වෙනත් සලකුණක් සමඟ දෙවන සහ තුන්වන මනාප සටහන් කිරීම.

6. එක, දෙක, තුන මනාපවලට අමතරව හතරවන මනාපයක්ද සටහන් කර තැබීම.

7. දෙවන මනාපය හෝ තුන්වන මනාපය පමණක් ලකුණු කිරීම.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් තිදෙනකුට වඩා තරග කරන බැවින් අවශ්‍ය නම් එක් අපේක්ෂකයකුට සිය ඡන්දය ප්‍රකාශ කර දෙවන සහ තුන්වන මනාප තව දෙදනකු හට පළ කිරීමට අවස්ථාව තිබෙන අතර අවශ්‍ය නම් දෙවන සහ තුන්වන මනාප වෙනුවට තනි අපේක්ෂකයකුට පමණක් ඡන්දය ලබා දීමට හැකියාව තිබේ. තනි ඡන්දයක් ලෙස එක් අපේක්ෂකයකු වෙත කැමැත්ත පළ කරයි නම් කතිරයක් පමණක් වුවද සෑහේ. පළමු, දෙවන, තුන්වන මනාප ලබා දෙන්නේනම් පමණක් පිළිවෙළින් 1, 2, 3 ලෙස ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතුය.