අනුරව ශක්තිමත් කළ නිසා සජබට දැන් කියන්නේ AKD ඔක්සිජන් කියලා

නායකයකු යනු ඕනෑම කණ්ඩායමක් සමඟ වුවද වැඩ කළ හැකි පුද්ගලයකු බවත් ධුරයේ වගකීම ගැන කතා නොකර කණ්ඩායම ගැන කතා කිරීම නිසා සජිත් යනු වගකීමක් දැරිය නොහැකි පුද්ගලයකු බව තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට අසීරුතාවට මුහුණදුන් අවස්ථාවේ රට ගොඩගැනීමට එක්වූ කණ්ඩායම සමඟ එක්ව තමා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආ බව පැවසූ ජනධිපතිවරයා ඉදිරි මහමැතිවරණයෙන් ජනතාව තෝරා දෙන කණ්ඩායම සමඟ එක්ව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළේය.

සජිත් විපක්ෂ නායකයා ලෙස සිදු කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීම බවත් ඒ නිසා මේ වන විට ජනතාව සජබට කියන්නේ AKD ඔක්සිජන් කියා බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ භූමියේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය ඊයේ (05) පස්වරුවේ අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

“පංචවිධ” තරුණ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

එමෙන්ම තරුෂි අනුත්තරා එදිරිමාන්න විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් ද මෙහි දී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ “ආරක්ෂක වියදම් නැවත පරීක්ෂා කිරීම හා තක්සේරු කිරීම” මැයෙන් කර ඇති යෝජනාව පිළිබඳ ද මෙහි දී අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කළේ ආරක්ෂක වියදම් අඩු කිරීමක් ඒ හරහා අදහස් වන බැවින් ඔවුන් ඒ පිළිබඳ වහාම රටට කරුණු පැහැදිලි කළ යුතු බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.

වසර දෙකකට පෙර මැතිවරණයක් පැවැත්විය හැකි ද කියා කිසිවකු ප්‍රශ්න කළා නම් කියන්න වෙන්නේ “බැහැ” කියලයි. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ හැකිද කියලා ඇහුවා නම් ඒකට කියන්න වෙන්නෙත් “බැහැ” කියලයි. නමුත් මේ වන විට අප මෙරට ආර්ථික ස්ථාවරභාවය ඇති කර මැතිවරණයත් පවත්වනවා.

අප මේ මැතිවරණය පවත්වන්නේ ජනතා වරම ලබා ගැනීම සඳහායි. එහි දී මා ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින්නේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර රට නැවත බංකොලොත් නොවන ආර්ථික වැඩසටහන ආරම්භ කිරීමටයි.

මේ රටේ වැටුණු ආර්ථිකය අප වසර දෙකකින් ගොඩගත්තා. නමුත් තවම එම ගමන අවසන් කර නැහැ. ඒ වැඩ කටයුතු අවසන් කිරීමට අපට තව වසර තුන හතරක් අවශ්‍ය වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කර රුපියල ශක්තිමත් කිරීම වෙනුවෙන් අප සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම ජනතාවගේ බදු බර සැහැල්ලු කර රැකියා අවස්ථා ඉහළ නංවා දීම සහ අපනයන ආර්ථිකයකට යොමු වීම අපේ ප්‍රධාන අරමුණ වෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශය නව භෝග මධ්‍යස්ථායක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම සංචාරක කේන්ද්‍රයක් ඇති කර සංචාරක ව්‍යාපාරය ද දියුණු කරනවා. අප රට පුරා නව ආයෝජන කලාප ගණනාවක් ආරම්භ කරනවා. ඒ සමඟ නව රැකියා අවස්ථා රැසක් ඇති වෙනවා.

අද මෙහි දී තරුණ තරුණියන් මට ලිපියක් ලබා දුන්නා. මා එම ඉල්ලීම් ඉටු කර දීමට කටයුතු කරන බව ද කිව යුතුයි. මෙම ප්‍රදේශයට කාර්මික විද්‍යාලයක් ලබාදීමට ද කටයුතු කරනවා.

ඇතැම් අය මගෙන් ප්‍රශ්න කරනවා ඔබේ කණ්ඩායම කවුද කියලා. මේ ජනාධිපතිවරණය පවත්වන්නේ කණ්ඩායමක් තෝරන්න නොවෙයි, ජනාධිපතිවරයකු තෝරා ගැනීමටයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විටත් කණ්ඩායම දිහා බැලුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේනව ගෙනඑන විටත් කණ්ඩායම දිහා බැලුව ද, අප එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිව්වා එතුමාට ඡන්දය දෙන්න කියලා. ඔහුට ඡන්ද ලැබුණේ ඒ නිසයි.

ඒ නිසා මෙම මැතිවණයේ දී තෝරාගත යුත්තේ ජනාධිපතිවරයා කවුද යන්නයි. ධුරයේ වගකීම පිළිබඳ කතා කිරීමට එම අපේක්ෂකයාට ශක්තිය තිබිය යුතුයි. අනෙක් කණ්ඩායම් අරගෙන යෑමට අවශ්‍ය නැහැ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කණ්ඩායමක් තේරීම වෙනුවෙන් නෙවෙයි.

ව්‍යවස්ථාව අනුව කණ්ඩායම තෝරා ගැනීම පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිදු වෙනවා. එහි දී පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන් 225ම තෝරාගත හැකියි. එතන බහුතරයක් තිබෙන තැනැත්තා අගමැතිවරයා ලෙස තෝරාගත හැකියි. පාර්ලිමේන්තුවට හොඳ අය තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීමක් වෙනවා. දැන් දූෂණ විරෝධී නීතිය තිබෙන නිසා වරදක් සිදු කළොත් ඔහුව ඉවත් කිරීමට මම ක්‍රියා කරනවා. මම මා සමඟ සිටින කණ්ඩායම සමඟ වැඩ කරනවා. නායකයා කියන්නේ ඕන කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි පුද්ගලයකුටයි.

මතු­ග­මදී පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ ජනරැලි­යට එක් වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ එම මහ­ත්මිය දරු­වන් 
පිරි­සක් එක්ව බුලත් හුරුලු දී පිළි­ගනු ලැබූ අයුරු

මතු­ග­මදී පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ ජනරැලි­යට එක් වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සහ එම මහ­ත්මිය දරු­වන් පිරි­සක් එක්ව බුලත් හුරුලු දී පිළි­ගනු ලැබූ අයුරු

එක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙන ඒමට අද සජබ ඉන්න කණ්ඩායමට බැරි වෙලා තිබෙනවා. ඔවුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තිබෙනවා. එක පැත්තක නාලක ගොඩහේවා සහ ජී.එල්. පීරිස් ඉන්නවා. අනිත් පැත්තේ හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකෙහි තිබෙන්නේ එකිනෙකට වෙනස් කරුණු බව කිවයුතුයි.

බ්ලූ ප්‍රින්ට් නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා “ආරක්ෂක වියදම් නැවත පරීක්ෂා කිරීම හා තක්සේරු කිරීම සිදු කරනවා” කියලා. ඒ කියන්නේ ආරක්ෂක වියදම් අඩු කරන බවයි. ඒ නිසා ඔවුන් මේ පිළිබඳ රටට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුයි.

මෙවන් එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නැති සජබ අද අපට කියනවා කණ්ඩායමක් හොයන්න කියලා. සජබ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒක හරියට එක මවකගේ කුසේ එකවර දරුවන් දෙදෙනකු ඉපදුණා වගේ. ජී.එල්. පීරිස් සහ නාලක ගොඩහේවා මාස 09න් ඉපදුණා. හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් මාස 10න් ඉපදුණා. ඒ නිසා කොයි දරුවාද ගෙනියන්නේ කියලා සජබ තීරණය කළ යුතුයි. මෙවන් කණ්ඩායමකට රට භාර දෙන්න පුළුවන්ද?

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස කළේ අනුර කුමාරව ශක්තිමත් කිරීමයි. දැන් අනුර කුමාර සජිත්ට අභියෝගයක් වෙලා. ඒ නිසා සජිත්ට මෙවර ජනාධිපතිවරණය දිනන්න බැහැ. ඒ නිසා සජිත්ට ඡන්දය ලබාදීම අනුර කුමාරට ඔක්සිජන් ලබාදීමක් බව මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්න කැමතියි. දැන් ජනතාව සජබෙට කියන්නේ AKD ඔක්සිජන් කියලයි. ඒ නිසා සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ගසා ඔබේ යුතුකම ඉටු කරන්න.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

ඉතිහාසයේ කවර කාලයකවත් සිදු නොවූ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මීට වසර දෙකකට පෙර කඩා වැටුණා. එදා අපට අනාගතය ගැන විශ්වාසයක් නැහැ. ඒ තත්ත්වය හමුවේ රට භාර ගැනීමට සිටි සියලු නායකයන් පළා ගියා. නමුත් රනිල්වික්‍රමසිංහ මැතිතුමාගේ අභියෝගය භාරගෙන අදවන විට රට නිසි මගට යොමුකර තිබෙනවා.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා,

රටේ පිටපත, විදුලිය, ඖෂධ නැති කාලේ, අනුර හෝ සජිත් සිටියේ නැහැ. කාලයේ රටේ ජනතාවට කිසිම බලාපොරොත්තුවක් නැහැ. නමුත් ජනතාව වෙනුවෙන් රට නැවත ගොඩ නඟන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පමණයි. වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුපක් අනිවාර්යයෙන් ලබා දෙනවා. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහයෙන් අප ලබා ගත් ජයග්‍රහණයක් කිව යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න

අද ජනාධිපතිධුරය ඉල්ලමින් මේ රටේ විශාල සටනක් ආරම්භ වී තිබෙනවා. ඒ අය රුපියල් කෝටි ගණන් වියදම් කරනවා. 2022 මැයි මාසයේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා බන්දේසියේ තියලා ලබා දුන්නේත් මේ ජනාධිපතිධුරයම තමයි. නමුත් එදා රනිල් වික්‍රමසිංහ මහතා හැර එය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත.

එදා ජනාධිපති මුලින්ම ධුරය භාර ගන්න කියලා ආරාධනා කළේ විපක්ෂ නායකටයි. ඔවුන් ඇවිත් පැය 3ක් සාකච්ඡා කරලා ටිව්ටර් සටහනක් තබමින් සඳහන් කළා මේ ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට ඇති හැකියාව යෝධයෙකුට පමණක් බව. ඔවුන් ඒ යෝධයන් නොවන බව එදා පිළි ගත්තා. පසුව අනුර කුමාරට කතා කර තිබුණා. නිර්ධන පංතියේ නායකයාත් රට භාර ගත්තේ නැහැ. නමුත් දැන් රට හදන හැටි කිය කියා රට වටේ යනවා. රට හදන්න නම් එදා වගකීම භාර ගන්න තිබුණා. ඊට පස්සේ ෆොන්සේකාට ආරාධනා කළා. ඔහු ජනතාව විරුද්ධ නැත්නම් භාර ගන්නම් කියලා ඒ කියන්නේ එයාව ජනාධිපති කරන්නද කියලා

ජනමත විචාරණයක් පවත්වන්න සිදු වෙනවා. අවසානයේ ඔහු භාර ගත්තෙත් නැහැ. එදා රාජ්‍ය බලය ගන්න පෙරටුගාමීන් ද ප්‍රතික්ෂේප කළා.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, , පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ද මෙහි දී අදහස් පළ කළහ.

හිටපු පළාත් සභා මන්ත්‍රී ෂෙනාල් වෙල්ගම, දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ටෙනිල් විශ්ව ශාන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම සංවිධායක ශ්‍රීපාල් වන්නිආරච්චි යන මහත්වරුන් ද මෙහි දී අදහස් දැක්වූ අතර විවිධ පක්ෂ නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

                                                                  ජනරැලි­යට එක් වූ ජන­තා­ව­ගෙන් පිරි­සක්                                                            ඡාය­රූප - රංජිත් අසංක

ජනරැලි­යට එක් වූ ජන­තා­ව­ගෙන් පිරි­සක් ඡාය­රූප – රංජිත් අසංක