විභාග දෙපාර්තමේන්තුව එකලු කළ මිණි පහනක් නිවී යයි

1986 සිට 1988 දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා ලෙස සේවය කළ ස්ටර්ලින් පෙරේරා මැතිතුමා අවුරුදු 92ක් ආයු වලඳා අප අතරින් වියෝ වී ඇත. මේ කෙටි සටහන ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියට ඔහුගෙන් ඉටු වූ අමිල මෙහෙවර ඇගයුමකි.

1931 නොවැම්බර් 19 දින මෙලොව එළිය දුටු ස්ටර්ලින් පෙරේරා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදි උපාධිය සම්පූර්ණ කළේය. පින්නවල මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කරන අවධියේදී උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීමට පුරෝගාමි වූ ඔහු අතිවිශාල ශිෂ්‍ය ප්‍රජාවකට විද්‍යා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සහතික කිරීමට සමත් විය. එමෙන්ම පාසල තුළ තාරකා විද්‍යා සමාජයක් නිර්මාණය කළ ඔහු පාසල් පද්ධතියේ වර්තමානයේද පවතින තාරකා විද්‍යා නිරීක්ෂණ සමාජ නිර්මාණය කිරීමේ පුරෝගාමියා ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත.

කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන සැලසුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, විද්‍යා විෂය මාලා සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, අමෙරිකා එක්සත් ජනපදයේදී ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයත් දිනාගෙන පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයට සම්බන්ධ වූ ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතියට සක්‍රියව දායක විය. අනතුරුව දුෂ්කර දිස්ත්‍රික්කයක් වූ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස උසස්වීමක් ලැබූ පෙරේරා මැතිතුමා එහි පාසල් පද්ධතියේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් දැක්වීය.

වර්ෂ 1986 දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා ලෙස පත්වීම් ලැබූ ඒ මහතා එම දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව හා විශ්වසනීයත්වය අතින් අද්විතීය රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට මහත් මෙහෙවරක් ඉටු කළේය. අනාගත දැක්මක් සහිත අධ්‍යාපනඥයකු වූ ඔහු සිසුන්ගේ සියලු හැකියා සමබර ලෙස තක්සේරු කළ හැකි මිනුම් ක්‍රමවේදයක් ලෙස වර්තමාන අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාත්මක පාසල් පාදක ඇගයීම් ක්‍රමයට මූලික වූ අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය හඳුන්වා දීමේ නිර්මාතෘවරයා විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසුන් සඳහා ප්‍රථම වරට හඳුන්වා දුන් ව්‍යාපෘති වැඩ සහ කණ්ඩායම් වැඩ ඇතුළු පාසල් පාදක ඇගයීම් ක්‍රමයක් සැලසුම් කර, නියමු ව්‍යාපෘති මෙහෙයවමින් දිවයිනේ සියලු පාසල්හි ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිපාලන ව්‍යඑූහයක් පිහිටුවීම ඔහුගේ මඟපෙන්වීම යටතේ සිදු විය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආංශික අධ්‍යාපන සංවර්ධන රාමුව යටතේ විභාග සහ ඇගයීම් ජාතික උපදේශන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස පාසල් දරුවන්ගේ ඉගෙනීම කෙරෙහි විභාගවල බලපෑම් අධ්‍යයනය සඳහා වග කිව යුතු ජාතික ඇගයීම් හා පරීක්ෂණ සේවාව කලාප හා පළාත් සම්බන්ධීකරණයෙන් යුතුව සකස් කිරීම ඔහුගෙන් ඉටු වූ සුවිශේෂ කාර්යභාරයකි. එසේම විභාග කොමසාරිස්වරයා වශයෙන් ජාතික මට්ටමේ පාසල් විභාග අවසානයේ විධිමත් ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තා සකස් කර පාසල් කාර්යසාධන දර්ශක ඔස්සේ ඒ ඒ පාසල් අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් දෙමින් ඵලදායි හා ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීමෙහිලා වෙහෙස නොබලා කටයුතු කළේය. ඔහුගේ මූලිකත්වයෙන් සිදු වූ මෙහෙවර අතුරින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බත්තරමුල්ලේ පිහිටි වත්මන් පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සහ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ කටයුතු ආරම්භ කිරීම ඉතිහාසයේ රන් අකුරින් සටහන් වී ඇත. විභාග කොමසාරිස් ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විෂයමාලා සංවර්ධනය, ඇගයීම සහ අධ්‍යාපනික තාක්ෂණ යන ක්ෂේත්‍රයන්හි ප්‍රධාන පර්යේෂක හා කණ්ඩායම් නායක ලෙස කටයුතු කරමින් පර්යේෂණ හා ව්‍යාපෘති මෙහෙයවමින් ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රගමනයට දායක විය.

ඔහුගේ සේවාව අධ්‍යාපන පද්ධතියට පමණක් සීමා නොවීය. ලෝක බැංකුව, යුනෙස්කෝව, නොරාඩ් සංවිධානය, ස්වාභාවික සම්පත් බලශක්ති සහ විද්‍යා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විද්‍යා හා ගණිත අධ්‍යාපන සංගමය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ආදී ජාත්‍යන්තර හා ජාතික ආයතන රැසකට ඔහුගේ සේවාව සලසා ඇත. වර්ෂ 2004 සිට 2006 දක්වා ජාතික අධ්‍යාපන කොමිසමේ උපසභාපති ධුරය හොබවමින් අනැගි මෙහෙවරක නිරත වීමට ඔහුට හැකි විය.

විශිෂ්ට මෙහෙවරක් නිම කර දැයෙන් සමු ගන්නා හිටපු විභාග කොමසාරිස් ස්ටර්ලින් පෙරේරා මහතාට අජරාමර නිවන් සුව අත් වේවා!