රට ඉල්ලන වෙනස කළ හැක්කේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්තියට පමණයි-ජනපති රනිල් පැල්මඩුල්ලේ දී කියයි

සජිත් සහ අනුර ඉටු කරන්න බැරි පොරොන්දු දෙන්නේ තරගෙට – ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

මානව හිමිකම් ගැන කතා කරන ජවිපෙ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇති කළේ – හිටපු ඇමැති එස්.බී. දිසානායක

ජනපති ජනතාවට දෙන්නේ පොරොන්දු නොව තීන්දුයි – හිටපු ඇමැති මනූෂ නානායක්කාර

රට ඉල්ලන වෙනස කළ හැක්කේ Òපුළුවන් ශ්‍රී ලංකාÓ ප්‍රතිපත්තියට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03) පැල්මඩුල්ලේ දී ප්‍රකාශ කළේය.

මාලිමාවේ සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ කඩදාසි කැබලි පමණක් බව කී ජනාධිපතිවරයා ගෑස් සිලින්ඩරයට ඡන්දය දුන්නොත් ගෑස් මෙන්ම Òවෙනසත්Ó නැති වනු ඇතැයි අවධාරණය කළේය.

ආර්ථිකයේ, සමාජයේ සහ දේශපාලනයේ දැවැන්ත වෙනසක් කරන බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් Òපුළුවන් ශ්‍රී ලංකාÓ ප්‍රතිපත්තිය සමඟ එක්වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් කතා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මේ රැලියට එන්න කලින් උදය සෙනෙවිරත්න මහතා ඇවිත් මට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ වාර්තාව භාර දුන්නා. අප වේදිකාවට නඟින්නේ තව එක පොරොන්දුවක් ඉටු කරලයි. ඒ පඩි වැඩි කරන එකයි. මම පොරොන්දු වී යන්නේ නෑ. මෙහි එන්නේ පොරොන්දු ඉටු කරලයි.

මම මාලිමාවට සහ ටෙලිෆෝනයට කියන්නේ ඔය දාලා තිබෙන වාක්‍ය ටික ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කරන්න කියලයි.

වසර දෙකකට පෙර අප රට භාර ගනිද්දී රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න හැකිවේයැයි ඒ අය හිතුවේ නැහැ. මේ කණ්ඩායම මා සමඟ එදා ආවා. අප ආණ්ඩුව භාර ගත්තා.

පළමුවෙන්ම අප රුපියල බේරගත්තා. ඔබට අමාරු තීරණ ගන්න සිදුවුණා. ඒ පියවර ගත්තේ නැතිනම් මෙවැනි තැනක ඉන්න ලැබෙන්නේ නැහැ. එතැන් සිට අප රුපියල ශක්තිමත් කළා. ආර්ථිකය ශක්තිමත් කළා. 2023 වසරේදී අස්වැසුම දෙන්න පුළුවන් වුණා. අස්වැසුම සමෘද්ධිය වගේ තුන් ගුණයක්. 2024 දී තිබෙන සහනාධාර බලන්න. රජයේ සේවක දීමනා වැඩි කරන අතරතුර රුපියල ද ශක්තිමත් කළ නිසා ක්‍රමානුකූලව බඩු මිලක් දරාගන්න පුළුවන් වුණා.

මේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. එය මෙතැනින් අවසන් වන්නේ නැහැ. තවත් වැඩ කටයුතු කරන්න තිබෙනවා. අප තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩි කරනවා. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මේ පියවර අනාගතයට ගෙනයෑම සඳහා මා ඉදිරිපත් වී සිටිනවා. වසරකින් දෙකකින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම තහවුරු වන්නේ නැහැ. ඒ නිසා ආපහු රට වැටෙන්න පුළුවන්. ඉදිරියට යා හැක්කේ සැලැස්මක් තිබෙනවා නම් විතරයි.

ක්‍රමානුකූලව අප රුපියල ශක්තිමත් කරනවා. එය කරන්නේ ආදායම වැඩි කිරීමෙන්. එමෙන්ම නිෂ්පාදනය වැඩි කරනවා. දළ දේශීය නිෂ්පාදනය අප වැඩි කර තිබෙනවා.

මේ වන විට දළ දේශීය නිෂ්පාදනය සියයට අනූවට ළංවෙමින් තිබෙනවා. එමෙන්ම අපි දැන් මුදල් අච්චු ගහන්නේ නැහැ. තිබෙන ආදායම අනුව වැඩ කරගෙන යනවා. ජීවන බර සැහැල්ලු කරන්න තවදුර යන්න තිබෙනවා. රුපියල බාල්දු නොකළ අප ජීවන බර සැහැල්ලු කරනවා. ඒ අතර පඩි වැඩි කරන්නත් ක්‍රියා කරනවා.

රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ වැටුප ද අප වැඩි කරන්න ක්‍රියා කරනවා.

අප රුපියල ආරක්ෂා කර ගත යුතුයි. නිකරුණේ බොරු පොරොන්දු දීලා වැඩක් නැහැ. සජබ සහ මාලිමාවේ යෝජනා කියවූ විට එක අතකින් ආදායම අඩු කරනවා. අනෙක් අතින් වියදම වැඩි කරනවා. ගිය සැරේ සිදුවූ දේ දන්නේ නැතිද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ තත්ත්වය නැවත බලන්න වුවමනා ද? නැවත ගෑස් පෝලිමේ සිටිය යුතුද? ඩොලරයට රුපියල් 370ක් ගෙවිය යුතු ද? අපි හෙමින් සීරුවේ ඇත්ත කියා මේ වැඩ කරමු.

වසර හතරක් රැකියා දී නැහැ. එන වසරේදී අප ලක්ෂයක් රැකියා සහ ස්වයං රැකියා දෙනවා. ආණ්ඩුවෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ද බඳවා ගැනීම් කරනවා.

ස්වයං රැකියා යනු නවීන කෘෂිකාර්මික වැඩසටහන්වලට මුදල් ලබාදීමයි. එමෙන්ම විදේශ රැකියා පුහුණුව ලබා ගැනීමට පනස්දහසකට මුදල් ලබා දෙනවා.

මේ සම්බන්ධයෙන් නොයෙක් රටවල් සමඟ අප කතා කරනවා. කොරියාව, ජපානය, මැදපෙරදිග ආදී රටවල් සමඟ කතා කරනවා. පුහුණුව තිබෙන අය ඒ රටවලට යැවීමට කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරය ලක්ෂ 25 සිට ලක්ෂ පනහක් බවට පත් කිරීමට කටයුතු කරනවා.

පැල්මඩුල්ලටත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරනවා. එවිට ඔබේ මැණික් කර්මාන්තය දියුණුවට පත්වේවි. බිංගිරියේ ආයෝජන කලාපයක් පටන් ගන්නවා. ත්‍රිකුණාමලය, හම්බන්තොට විශාල කර්මාන්ත කලාප බිහි කරනවා. මැණික් කර්මාන්තය දියුණු කර ලෝක ප්‍රසිද්ධ කිරීමට අප වැඩසටහනක් කරනවා. පතල් කම්කරුවන් ආරක්ෂා කිරීමටත් වැඩසටහනක් අපට තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණය අපේ ප්‍රධාන කාර්යයක්. අද ලෝකයට කෑම අවශ්‍යයි. 2050 වන විට ලෝක ජනගහනය බිලියන දෙකකින් වැඩි වෙනවා.

කෘෂි නවීකරණයක් ඇති කර තරගකාරී මිලකට භෝග වගා කර ලෝකයට ඒවා විකුණමු.

ලෝකයේ බොහෝ විට තාමත් තේ බොන්නේ අපෙන්.

රටේ ආර්ථිකයේ පරිවර්තනයක් ඇති කළ යුතුයි. අප වැඩි වැඩියෙන් අපනයනයට යා යුතුයි.

එවිට අනාගතයේ අපට විදේශ ණය ගැනීමට වුවමනා වන්නේ නැහැ. සූර්ය බලශක්ති ව්‍යාපෘති වැඩි කරන්න අප කටයුතු කරනවා. රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. රටේ ආදායම වැඩිවන විට, නිෂ්පාදනය වැඩිවන විට, බදු බර ද සැහැල්ලු කරන්න පුළුවන්.

අපේ සැලැස්ම මේ රට අපනයන ආර්ථිකයකට පරිවර්තනය කිරීමයි. අපේ ලොකුම අඩුව විදේශ විනිමය ණයට ගැනීමට සිදුවීමයි. අප සම්පූර්ණයෙන් උපයන්නේ නැහැ. තායිලන්තය, වියට්නාමය සම්පූර්ණයෙන් මුදල් උපයනවා.

එන වසර දහයේදී ඒ අයුරින් අප මේ වැඩ කළ යුතුව තිබෙනවා. අපට අවශ්‍ය විදේශ විනිමය උපයන්නේ නැතිව තව වසර දහයකින් පහළොවකින් අපට උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එයට කවුරුත් කැමති නෑ. අස්වැසුම සහනය තවදුරටත් ලබාදීමට අප කටයුතු කරනවා. ඔවුන්ට නැඟිටින්න උදව් කළ යුතුයි. කොළඹ තට්ටු නිවාස තිබෙන අඩු ආදායම්ලාභීන්ට නිවාස ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමර වෙනුවට ගම්මාන බිහි කරනවා. අප කරන්න යන්නේ විශාල විපර්යාසයක්. ඒ කියන්නේ ආර්ථිකයේ වෙනසක්. අප අලුත් ආර්ථිකයක් බිහි කරමු.

අපි එතැනින් නතර වන්නේ නැහැ. සමාජයේ වෙනසක් ද ඇති කරනවා. මේ රටේ සියයට 25ක් අඩු ආදායම්ලාභීන්. හරි සෞඛ්‍ය සේවයක්, හරි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මේ කණ්ඩායමට හොඳ අධ්‍යාපනයක් මෙන්ම සෞඛ්‍ය සේවයක් ලබා දීමට කටයුතු කරනවා.

එමෙන්ම දුප්පත් කණ්ඩායමේ දැනුම මෙන්ම සෞඛ්‍ය ශක්තිමත් කොට සමාජයට ඇතුළු කිරීම සඳහා කටයුතු කරනවා. ඒක විප්ලවයක්. අප ඒ අයිතිය ලබා දී දියුණු කර ශක්තිමත් කරනවා. රටේ ජනගහනයෙන් බහුතරය කාන්තාවන්. අප ඒ අයගේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා. අප කාන්තාවන් බලගැන්වීමේ නීතිය සම්මත කළා. ඒ යටතේ තම අයිතිවාසිකම් ගැන ක්‍රියා කරන්න කාන්තාවන්ට පුළුවන්. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීමට හැම පොලිස් ස්ථානයකම වෙනම කාර්යාලයක් ස්ථාපිත කරනවා.

අපි එක අතකින් කාන්තාවන් බලගන්වනවා. අනෙක් අතින් කාන්තාවන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ක්‍රියා කරනවා. වෙන පක්ෂයක් එවැනි පියවර ගන්නවාද?

මේ රටේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොමිසමක් පත් කරනවා. කුලය ආදී සමාජ හේතු නිසා මිනිසුන් කොන් වෙනවා. ඒවා නැති කිරීමට සමාජ සාධාරණ කොමිසමක් පත් කරනවා. එතැනින් සමාජය වෙනස් කරනවා. මේ රටේ දේශපාලන ක්‍රමයත් වෙනස් කරනවා.

අනික් අය දූෂණය ගැන කතා කරනවා. අපි දූෂණයට විරුද්ධව ක්‍රියා කර තිබෙනවා. මේ රටේ දූෂණය නැති කරන්න ලෝකයේ හොඳම නීති ලබාදෙන ලෙස මූල්‍ය අරමුදලට කියා තිබෙනවා. අප දූෂණ විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

අප දූෂණ විරෝධී පනත සම්මත කර තිබෙනවා. ඒ වෙනුවෙන් තවත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරන්න තිබෙනවා. දූෂණය ගැන කතා කරමින් සිට වැඩක් නැහැ. දූෂණය ගැන ක්‍රියා කරන්න වැඩසටහනක් තිබිය යුතුයි.

හොරු අල්ලනවා දඬුවම් දෙනවා කියමින් කෑගසමින් සිට වැඩක් නැහැ. හොරු අල්ලන්න නම් ආයතන තිබිය යුතුයි. අප ඒ ආයතන ශක්තිමත් කරනවා. හොරු ඇල්ලීම දේශපාලකයන්ගේ කාර්යභාරය නොවෙයි. එයට ආයතන තිබෙනවා. දඬුවම් කිරීම අධිකරණයේ වැඩක්. දේශපාලකයන් ලෙස එය අතට ගන්න බැහැ. ඌරගස්මංහන්දියේ මේජර් මල්ලිකා නඩුව ඇහුවා වගේ අපට මේක කරන්න බැහැ. ඒ කතාව දන්නේ නැද්ද? 1971 එක දවසකට බලය ගත්තාම ජවිපෙ උසාවියක් දැම්මා. නඩු අහන්න මේජර් මල්ලිකා දැම්මා.

අපට එහෙම නඩු අහන්න ඕනෑ නැහැ. මේජර් මල්ලිකාගේ වැඩේ කරන්න මම කැමති නැහැ. අපි උසාවියට ඒ වැඩ කටයුත්ත භාරදෙමු. ඔවුන් ශක්තිමත් කරමු.

එමෙන්ම ජන සභා ක්‍රමය ඇති කර තරුණ නියෝජිතයක් ලබාදෙන්න ප්‍රාදේශීය සභාවලටත් තරුණ නියෝජනයක් දෙන්න අප කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කරන්නත් අප කටයුතු කරනවා. වෙනසක් අවශ්‍ය නම් වෙනස කරන්නේ අපි. වෙනස කළ හැක්කේ Òපුළුවන් ශ්‍රී ලංකාÓ වැඩසටහනින් පමණයි.

මේ රටේ මිනිසුන් වෙනසක් අවශ්‍ය යැයි කියා පාරට බැස්සා. ඒ වෙනස කරන්න අප අද මෙතැනට පැමිණ තිබෙනවා. මෙතැන එජාපයේ අය සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස නායකයන් සමඟ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් අපි මෙතැනට පැමිණ තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමු.

සජිත් ප්‍රේමදාසට දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය ඇත්තටම අනුර කුමාර ශක්තිමත් කිරීමක් පමණයි. ඒ අය කරන්නේ අනුර කුමාරට රට දීම පමණයි. ඒක කරන්න එපා යැයි මා කියනවා.

සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළට ගිහින් ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. එසේ නොකළොත් ගෑස් මෙන්ම වෙනසත් නෑ.

වනජීවී වන සංරක්ෂණ ඇමැතිනී සහ වාරිමාර්ග රාජ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය-

අපේ රටේ කඩා වැටුණු ආර්ථිකය වසර දෙකකින් ගොඩනැඟූ නායකයා රනිල් වික්‍රමසිංහ ජනපතියි. නැවත වතාවක් රටේ ආර්ථිකය ගොඩනැඟීමට දර්ශනයක් වැඩපිළිවෙළක් ඇති එකම නායකයා ජනාධිපතිතුමායි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමයි, අනුර කුමාරයි දෙන්නම එකම විදිහේ වැඩ කරන්නේ. අද ඒ දෙන්නා ඉටු කරන්න බැරි පොරොන්දු තරගෙට දෙනවා. ජනතාව රවට්ටන්න බොරු පොරොන්දු ලබා දෙනවා.

සජිත් ප්‍රේමදාස මහත්තයගෙයි, අනුර කුමාර මහත්තයාගෙයි ආර්ථික වැඩපිළිවෙළ එක සමානයි. ඔවුන් රාජ්‍ය ආදායම අඩු කරන්න කතා කරනවා. රජයේ වියදම් වැඩි වන යෝජනා කරනවා.

ගෝඨාභය ජනාධිපතිටත් වැරදුණේ අපේ හිටපු යල්පැන ගිය ආර්ථික ඔස්තාර්ලාගේ ඔය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් ගොඩදාගත් රටේ ආර්ථිකය නැවත වළපල්ලට යන්න ඉඩ දෙන්න එපා. ජනතාව ඒ බව හොඳට අවබෝධ කරගත යුතුයි.

අපට මේ අවස්ථාවේ වැරදුණොත් නැවත රට කඩා වැටෙනවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඒ නිසා මේ තීරණාත්මක මැතිවරණයේ දි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ලකුණ ගෑස් සිලින්ඩරය දිනවන්න සියලු දෙනාට එක්වෙන ලෙස ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා-

අද මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන ජවිපෙ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ඇති කළේ. ඔවුන්ගේ දේශපාලන උපත සිදුවුණේ මංකොල්ලකෑම් හොරකම දූෂණයෙන්මයි. අවලාද මඩ ගැසීම්වලින්මයි. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඔවුන් තමයි මිනීමරුවෝ. අපේ රටේ විශ්වවිද්‍යාලවල ප්‍රජාතන්ත්‍රවාදය නැති කළේ ජවිපෙයි. විශ්වවිද්‍යාල දරුවන්ට නවකවදය දීලා විශ්වවිද්‍යාල ජීවිතය එපා කළේ ඔවුන්. විශ්වවිද්‍යාලවල දේශපාලනය කිරීමේ අයිතිය ඕනෑ අයකුට තිබිය යුතුයි. ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාර ආරම්භ කළාට පසු කිසිම නිලවරණයක් තියන්නවත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ.

ඔවුන්ගේ මැර දේශපාලනය මෑතකදී මනාව පිළිබිඹු වුණා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමඟ ගහලා මරා දැම්මා. මහජන නියෝජිතයන්ගේ දේපළ ගිනි තිබ්බා. ගෙවල් කැඩුවා. විනාශ කළා. බඩු හොරකම් කළා. රට අරාජික කළා. එවන් තත්ත්වයකින් රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. මෙවර ජනාධිපතිවරණයේදී එතුමාගේ ජය විජයග්‍රහණයක් කළ යුත්තේ එතුමා කළ සේවයට කළගුණ සැලකීමක් ලෙසයි.

හිටපු සෞඛ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා-

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ පාලනය කඩා වැටුණු වෙලාවේ එතුමා රට භාරගන්න එදා හිටපු විපක්‍ෂ නායකයාට ආරාධනා කළා. එයා හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සමඟ මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් සමඟ පැය තුනක් කතා කළා.

ඊට පස්සේ හර්ෂ ද සිල්වා කිව්වේ මොකක්ද? ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒක මළ සොහොනක්. එය ගොඩගන්න යෝධ බල යෝධ ශක්තිය අවශ්‍යයි. එහෙම කෙනෙකුට විතරයි එය ගොඩගන්න පුළුවන් කියලා. ඒ නිසා සජිත් ප්‍රේමදාස බයවුණා. එයා මඟහැරියා. අනුර කුමාර බෑ කිව්වා. සරත් ෆොන්සේකා බෑ කිව්වා. පෙරටුගාමි නායකයාත් බෑ කිව්වා.

අන්තිමට මේ තනි මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ භාරගත්තා. එතුමා රට, ආර්ථිකය ගොඩ ගත්තා. අද ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ එක්කෙනෙක්වත් එදා රට භාරගන්න හිටියේ නෑ. අද ඔය කියන කයිය නායකයන්ට රට ගොඩගන්න බෑ. පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. ඔවුන්ට රට අරගෙන කරන්න බැහැ. අපේ රට නැවත ග්‍රීසිය වගේ කඩා වැටෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ විශ්වකර්ම වැඩක්. ආර්ථිකය යථා තත්ත්වයට පත් කළේ දියුණු කළේ, විශ්වකර්ම වැඩක් විදිහට. එතැනින් ගැළවෙන්න කල්පනා කරන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා-

අභියෝගය භාරගන්න බැරිව බයේ පැනගිය නායකයන් දෙන්නයි, අභියෝග භාරගන්න පුළුවන් කියලා වැඩ කරපු නායකයා අතර තමයි අද ජනාධිපතිවරණ තරගය තිබෙන්නේ.

අපි මේ අවස්ථාවේ බුද්ධිමත්ව හොඳ තීන්දුවක් ගත යුතුයි. ජනාධිපති අද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. එතුමා ජනතාවට දෙන්නේ පොරොන්දු නොවෙයි. එතුමා ගන්නේ තීන්දුයි.

රජයේ සේවක වැටුප් වැඩි කිරීම, වතු කම්කරුවන්ගේද වැටුප් වැඩි කිරීම, මැණික් පතල් කර්මාන්තය දියුණුව ඇති කිරීමට එතුමා විශාල වැඩ කොටසක් කළා.

එපමණක් නොවේ ත්‍රිරෝද රථ රියැදුරන්ට, සාමාන්‍ය ජනතාවට, රැකියා කරන අයට පවා එතුමා හොඳ ආර්ථික පසුබිමක් හදා දෙනවා.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා –

රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු දෙකහමාරකින් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟුවා.

තෙල් ගෑස් විදුලිය නැතිව ජනතාව අනන්ත දුක්වින්දා. ඒ දුක නිවූ නායකයා ජනාධිපතියි. අපි කළගුණ දන්න ජනතාවක්. වැඩි ඡන්ද ලක්ෂ පහක් ලබාගෙන රත්නපුරෙන් අපි ජනාධිපති දිනවනවා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා-

ජවිපෙ කියනවා අපි සල්ලිවලට විකිණිලා කියලා. අපි සල්ලිවලට විකිණිලා නෑ.

අපි ජනාධිපතිට සහාය දෙන්නේ පොහොට්ටුවේ සිටයි. අපි එසේ කරන්නේ එතුමා කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟූ හින්දයි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා සොයිසා මහත්මිය-

රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවෝ. කාන්තාව තමයි ආර්ථිකය කඩා වැටීමෙන් වැඩියෙන්ම පීඩාවට පත්වුණේ. කාන්තාවන්ගේ දුක දන්න නායකයා ජනපතියි. අද අපි එතුමාගේ ජයග්‍රහණයට කැපවී සිටිනවා.

පැල්මඩුල්ල එජාප ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් ප්‍රේමරත්න මහතා-

පැල්මඩුල්ල අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට කැපවෙනවා. පැල්මඩුල්ලේ අපි දේශපාලන තීන්දු ගන්නේ ජයග්‍රහණ ලබන්න නොවෙයි විජයග්‍රහණ ලබන්නයි. ඒකයි අද මෙච්චර ජනතාවක් රැස්වෙලා සිටින්නේ.

සබරගමු පළාත් සභා හිටපු ඇමැති අතුල කුමාර රාහුබද්ධ, එජාප පැල්මඩුල්ල ආසන සංවිධායක මංජුල ඩයස් වික්‍රමනායක, හිටපු පළාත් සභා මන්ත්‍රී හීන්අප්පු වන්නිආරච්චි, ලංකා කම්කරු කොංග්‍රසයේ රත්නපුර දිස්ත්‍රික් නායක රූබන් පෙරුමාල් මහත්ම මහත්මීහු ද මෙහිදී කතා කළහ.

සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා, සබරගමු පළාත් සභාවේ මැති ඇමැතිවරු, පළාත් සභාවේ, පළාත් පලන ආයතනවල මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ ජන රැලිවලට සහභාගි වූහ.