ජනතාව බිය වද්දන ප්‍රචණ්ඩ දේශපාලනය ජනපතිවරණයේ දී පරාජය කළ යුතුයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජනතාව බිය වද්දන ප්‍රචණ්ඩ දේශපාලනය ජනපතිවරණයේ දී පරාජය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා (02) හෝමාගම උඩුවන රූබන් අමරතුංග මාවතේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

ලංකාවේ දේශපාලනයේ බිය වැද්දීම් තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග උල්ලංඝනය වන ඉතිහාසයක් අප සතුව තිබෙනවා. මම මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වුණේ 1989දීයි. එම මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක්. මුළු රටේම පෝස්ටර් ගහලා තිබුණා හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව් කියා. ජේ.ආර් මරමු කියා. ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු කියා. ඊළඟට කීවා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අයට දඬුවම මරණය කියා. හොර පාර්ලිමේන්තු මැතිවරණය වර්ජනය කරව් කියා කිව්වා. ඡන්දය දෙන්න යන පළමු පස්දෙනා මරනවා කිව්වා. කිව්වා වගේම ඡන්දය දෙන්න යන නිරායුධ අහිංසක මිනිස්සු මැරුවා. මරණයෙන් පසු මිනිය දණහිසෙන් පහළට දමා ගෙනගොස් වැළලීමට නියම කළා. මේ මහා භීෂණයේ වාසිය යොමු වුණේ රණසිංහ ප්‍රේමදාස මහතාට සහ එක්සත් ජාතික පක්ෂයටයි.

ඊට හේතුව භීෂණයට බය වූ සාමාන්‍ය ජනතාව තමන්ගේ ගේදොර, ව්‍යාපාර ඉඩ කඩම්, යාන වාහන, වතුපිටි යනාදිය ආරක්ෂා කර ගැනීමට රැකවරණය පතා ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. 1989 වර්ෂයේ කොළඹ එතරම් දරුණු භීෂණයක් ක්‍රියාත්මක කරන්න බැරිවුණා. ඒ කෙසේ වෙතත් මීනීමරු දේශපාලනය සහ එහි දේශපාලනඥයන් ක්‍රම ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි පොරවා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මේ කාලයේ දී පිවිසුණා. ඔවුන් සිල්වතුන් ගුණවතුන් ලෙස සමාජයේ පෙනී සිටියා. නමුත් සිල්රෙදි අතරින් නැවතත් තුවක්කු බට එසවෙන්න පටන් ගත්තෙ 2022 මැයි 09 වෙනිදායි. ප්‍රචණ්ඩ අරගලකරුවෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ අතුකෝරල මහතා මහමඟදී වද දී ඇදගෙන ගොස් අමානුෂිකව මරලා පැය 12ක් ගතවෙන්න කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 72කගේ ගෙවල් දොරවල් ගිනිබත් කළා. ගේ දොර බඩු මුට්ටු වනසා බස්රථ, වෑන් රථ ගිනි තියා ප්‍රාදේශීය දේශපාලන නායකයන් දහස් ගණනකට ශාරීරික, මානසික හා දේපළ විනාශ කරමින් අපරාධ කළා.

එදා රෑ පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කරන්න එතන කතා පවත්වපු අය කවුදැයි වීඩියෝ දැකපු සියලු දෙනා දන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවිය භාරගෙන ප්‍රචණ්ඩ අරගලකරුවන් මර්දනය කළේ නැත්නම් මීට අවුරුදු දෙකකට පෙර ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. එහෙම වුණානම් බංගලාදේශය වගේ අද වන විට ලංකාවේ කඩ සාප්පු, ව්‍යාපාර වැසී ගොස් කර්මාන්ත ශාලා වැසී කුලියක් කරගෙන ජීවත් වූ අහිංසක මිනිස්සු අසරණ වී රට අරාජික බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහයන්ගේ වික්‍රමාන්විත මෙහෙයුම නොතිබුණා නම් ජනාධිපතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ පලාත් පාලන මැතිවරණයක් ලංකාවේ පැවැත්වෙන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්ත එකම නායකයා නිසයි අපි ඔහුට සහය දෙන්නෙ.

දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් දේශපාලන පක්ෂවල බිම් මට්ටමේ ආධාරකරුවන් නිවෙස්වලට පැමිණෙමින් තර්ජනය කරන බවත්, මැතිවරණ කාර්යාල දමන නිවෙස් පිළිබඳ බලා ගන්නා බවටත් අනතුරු ඇඟවීම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා. වෙනසක් කිරීමට සම්බන්ධ නොවුණොත් වැඩ බලාගත හැකි බවත්, ණයත් නැති බයත් නැති මිනිස්සු තමන් යැයි ප්‍රකාශ කරන බවත් විවිධ ග්‍රාමීය ප්‍රාදේශවලින් වාර්තා වෙනවා. නමුත් විය යුත්තේ වෛරී චින්තනයෙන් බැහැරව ප්‍රබුද්ධ, තාර්කික, සංවාදශීලී විවේචනයන්, විචාරයන් තුළින් ප්‍රායෝගිකව යථාර්ථයක් විය හැකි පරිද්දෙන් නිදහස් සාමකාමී ජනපතිවරණයක් පැවැත්වීමයි. මිනී මරු ප්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරයන්වලට ජනතාව බිය වැද්දීමට ඉඩ නොදිය යුතුයි. ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් රට හැර ගියහොත් එය වෛද්‍යවරුන් රට හැර යාමට වඩා කිහිප ගුණයකින් භයානක ප්‍රතිඵල ඇති කරනවා. ජනපතිවරණ ව්‍යාපාරයට ඉදිරිපත් වන කුමන හෝ නිරායුධ අහිංසක පුරවැසියෙකුට තර්ජන ගර්ජන හෝ බිය වැද්දීම් ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයකට වාර්තා කළ යුතු යැයි මා ප්‍රකාශ කරනවා.

මෙම අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංග අබේසිංහ, හිටපු උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම, ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන කැළුම් ප්‍රියංකර, සම්පත් පත්මවර්ණ, නීලකාන්ති සමරවික්‍රම, අජිත් කුමාර, ශ්‍රීලනිප සංවිධායක ඉසුරු අබේවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ද සහභාගි වූහ.