රාජ්‍ය සේවකයන් රටේ අනාගතය ගැන සිතා ඡන්දය ලබාදිය යුතුයි

මෙරට සංවර්ධනයේ ගාමක බලවේගය වන රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ තවත් පියවරක් වශයෙන් බවත් එය කිසිසේත්ම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කළ කටයුත්තක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලය ලැබූ සෑම අවස්ථාවකදීම රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනගිය බව සිහිපත් කළ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ 2024 ජනාධිපතිවරණය කුලයට හෝ ආගම්වාදයකට නායකයෙක් සොයන මැතිවරණයක් නොව, මේ රටට ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර දී ලෝකයේ බලගතු රටක් බිහිකරන නායකත්වය තෝරාගන්නා මැතිවරණයක් වන බැවින් රාජ්‍ය සේවක සැම තම අනාගතය ගැන සිතා නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇති බවයි.

‘උරුමය’ සහ ‘අස්වැසුම’ ද මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මිස විවිධ දේශපාලනඥයින් පවසන පරිදි ඡන්දය අපේක්ෂාවෙන් ක්‍රියාවට නඟනු ලැබූ වැඩසටහන් නොවන බව පැවසූ වජිර අබේවර්ධන මහතා, මේ සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය හැසිරවීමෙන් ජනතාව ලබන ප්‍රතිලාභ බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

මෙරට රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහළොවක් පමණ සිටින අතර සහ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ ඉන්නවා. ඊට අමතරව පුද්ගලික අංශයේ ඊ.ටී.එෆ්. ලබන ලක්ෂ හැට පහකට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ කණ්ඩායම් දෙකේම එකතුව ලක්ෂ අසූපහක් වෙනවා. මේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩිකර ගැනීමට සිටින පිරිස වශයෙන් මේ කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාවට අනුව වයස අවුරුදු 18 ට වැඩි එක්කෝටි හැත්ත එක් ලක්ෂයක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. මෙරට නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිටින්නේ මේ පිරිසයි. මෙහි තිබෙන අසමානතාවයන් වෙනස් නොකර අප බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධන වේගය ළඟා කර ගැනීමට හැකියාවක් නැහැ.

රටේ පැවැත්වෙන මැතිවරණයක් හේතුවෙන් මේ රට තවත් මාස කීපයක් ආපස්සට යාම සිදු විය ‍නොහැකියි. මේ රට නොනැවතී වේගයෙන් ඉදිරියට යා යුතුව තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සමයේ රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත රට වැසියා මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වන්නේ රට බංකොලොත්භාවයට පත්වීමයි.

ඉතිහාසය දෙස හැරී බැලුවොත් 2000 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවතුණා. රට බංකොලොත් වීම නිසා එම වර්ෂයේදී එම රජය කඩාගෙන වැටෙනවා. 2001 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී නැවත නව රජයක් පිහිටුවනවා. එසේ පත් වූ රජයටද රට ගෙනයාමට නොහැකි වෙනවා. ඒ අවස්ථාවේදීත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස රටේ වගකීම භාරගත්තා. රටේ මූල්‍ය පාලනය පවත්වා ගැනීමට හැකි නොවුණොත්, රටේ ආර්ථිකය අනාගතයේදී ද පාලනය කර ගත නොහැකි වන බව පෙන්වා දෙමින් ඒ අවස්ථාවේ දී ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන හඳුන්වා දුන්නා. 2001 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ නව වැඩසටහන ඉදිරිපත් කරන්නේ මෙරට ආර්ථික වර්ධන වේගය කඩාගෙන වැටෙන බවත් ණය ගෙවා ගැනීමට නොහැකි වන බවත් සඳහන් කරමින් බව සිහිපත් කළ යුතුයි. නමුත් ජනතාව එය ප්‍රතික්ෂේප කළා. ජාතිවාදය ආගම්වාදය කුලවාදය පතුරවා එදා රට වෙනත් මානයකට ගෙන ගියා.

කෙසේ වෙතත් රට වැටුණු තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් ණය ගෙවීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 12 වැනිදා අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන එතුමා පාර්ලිමේන්තුවේ දී කතාවක් පවත්වමින් පැවසුවේ, තනි මන්ත්‍රීවරයෙක් වන තමන්ට සියලුදෙනාගේ සහයෝගය දෙනවා නම් ගැටලුව විසඳීමට හැකියාව ඇති බවයි.

ඒ අනුව එතුමා නව නීති රීති, නව අණ පනත් සියයකට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට කටයුතු කළා. ඒවගේම එතුමා යෝජනා කළා, Òඅපි බෙදී සිටියා ඇති, අපේ වෙනස්කම් ඒ අයුරින්ම තබා ගනිමින්, සංස්කෘතින් ඒ අයුරින්ම තබා ගනිමින් ජාතික වශයෙන් එකමුතුව ක්‍රියා කරමුÓ කියලා. ඒ අනුව තමයි ජාතික සභා කීපයක් පිහිටුවන්නේ. ඒ පිහිටුවන ජාතික සභා කිහිපයට සමගාමීව ණය පියවන ආකාරය පිළිබඳව නීතියෙන් පොරොන්දු වෙනවා. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණය කරගන්නේ කෙසේද කියා පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කර ගන්නවා.