ජාතිය-ආගම වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය ජනපතිවරණයේ මාතෘකාව වීම සතුට කරුණක්-වෘත්තීයවේදීන් සමඟ ‘Ask Me Anything’ වැඩසටහනට එක් වෙමින් ජනපති පවසයි

රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ජනපතිපෞද්ගලික අභිලාෂයන් තැකුවේ නෑ

-විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

බොරු පොරොන්දු නොදී කටයුතු කිරීම ගැන ජනාධිපතිතුමාට මම ගරු කරනවා

-හිටපු ඇමැති, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා


ජාතිය හෝ ආගම පිළිබඳව නොව, රටේ ආර්ථිකය කෙරෙහි පමණක් අවධානය යොමු වූ ජනාධිපතිවරණයක් රට තුළ දක්නට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා ලෙස තමා ආඩම්බර වන බවත්, එමඟින් රටක් ලෙස එක්සත්ව කටයුතු කරමින් සමාජ විෂමතා සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට අවස්ථාව හිමි වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පෙරේදා (2) පස්වරුවේ සංවිධානය කර තිබූ ‘Ask Me Anything’ විශේෂ වැඩසටහනට එක් වෙමිනි.

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන විද්වතුන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් මේ වැඩසටහනට එක්ව සිටි අතර, ඔවුන්ට මෙහිදී තම ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුව යොමු කිරීමට අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තිකයන් සමඟ පිළිසඳරකද නිරත වූ අතර, යොමු වූ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු සැපයීමටද කටයුතු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“වර්තමානය වන විට අප, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, වීන එක්සිම් බැංකුව සහ නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17 සමඟ සහයෝගයෙන් ණය තිරසාරභාවය, ණය සහන මෙන්ම 2032 දක්වා ඉදිරියට යන මාවත පිළිබඳ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා. දැන් ප්‍රශ්නය: අප මේ මාර්ගයේ දිගටම ගමන් කරනවාද? නැති නම් මෙය වෙනස් කරනවාද? යන්නයි. රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මෙහි පවතින නිර්ණායක වෙනස් කළ නොහැකියි. බදු සංශෝධනයන් කළ හැකි වුවත්, සමස්ත නිර්ණායක සපුරාලිය යුතුයි. අනෙක් පක්ෂ යෝජනා කරන්නේ විකල්ප ආදායම් මාර්ග ලබා දීමකින් තොරව බදු සහ තීරුබදු අඩු කිරීම, ආදායම් අඩු කිරීම සහ සුබසාධන ක්‍රියාමාර්ග මඟින් රජයේ වියදම් වැඩි කිරීම පිළිබඳවයි. 2019 වසරේදී බදු අඩු කිරීම් නිසා ආදායම අඩු වීම සහ අධික ලෙස සහන සැලසීම පදනම් කරගෙන, 2022 වසර වන විට ආර්ථික දුෂ්කරතා ඇති වුණා. අතීතයේ කළ එවැනි වැරදි යළි කිරීමට අවශ්‍යද කියා විමසිය යුතුයි.

“ඒ නිසා අප දැන් තීරණයක් ගත යුතුයි. මම ප්‍රතිපත්තිමය තොරතුරු ගැන කතා කරන්න යන්නේ නැහැ. අපට ලබන වසර දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 3ක් හිමි වනවා. ඒ වගේම 2040-2042 දක්වා ණය ආපසු ගෙවීමේ අවකාශයක් සහිත ගිවිසුමක්ද තිබෙනවා. අප අතේ තියෙන දේ මෙයයි. අප එය නැති කරගැනීමට සූදානම්ද? අපේ රටට අවශ්‍ය පරිවර්තනයක් මිස තාර්කික නොවන වෙනසක් නොවෙයි. මේ අර්බුදය ජය ගනිමින් අපට 2042 වන විට ස්ථාවරත්වයක් ළඟා කරගත හැකියි. එහෙත් අප ඉක්මනින් අපනයන නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය නොවුණොත්, අපට දිගින් දිගටම ණය ගැනීමට සිදු වන නිසා 2035 – 2040 කාලය තුළ තවත් අර්බුදයක් ඇති විය හැකියි.

“කෙසේ වෙතත්, තරගකාරි අපනයන ඉලක්ක කරගත්, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් බවට පරිවර්නය වීමෙන් අපට අතිරික්තයක් සහිත ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කළ හැකියි. ඉඩම් වැනි සැලකිය යුතු වත්කම් අප සතුව තිබෙනවා. මේ ශත වර්ෂයේ මැද භාගය වන විට ගෝලීය ජනගහනය බිලියන 2කින් පමණ වැඩි වීමක් අපේක්ෂා කරනවා. මේ වෙළෙඳපොළට අවශ්‍ය ආහාර සැපයීම සඳහා අපගේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. විදේශ සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2.5 සිට මිලියන 5 දක්වා වැඩි කළ යුතුයි. එක් සංචාරකයකුගෙන් දිනකට ලැබෙන ආදායම ඩොලර් 150 සිට ඩොලර් 400ක් දක්වා වැඩි කරගත යුතුයි. ඒවගේම, ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සහ අර්ධ ස්වයංක්‍රීය නිෂ්පාදන හැසිරවීමට අපගේ ශ්‍රම බළකාය පුහුණු කළ යුතුයි. එමඟින් ආදායම් ප්‍රවාහය පවත්වාගැනීමට සහ අපගේ සම්පත් භාවිත කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපට ඉඩ සැලසෙනවා.

“ආර්ථික පරිවර්තනය එක් අංගයක් වන නමුත් සමාජ පරිවර්තනයත් ඒ හා සමානව තීරණාත්මක වනවා. අපගේ බහු-මාන දරිද්‍රතාව ජනගහනයෙන් 25%කට බලපා තිබෙනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුබසාධන යන ක්ෂේත්‍රවල පවතින ගැටලු නිරාකරණය කරමින් මෙය 10% දක්වා අඩු කිරීමට අප කැප වී සිටිනවා. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2)(ඉ) වගන්තියට අනුකූලව, බලපත්‍රලාභීන් මිලියන 2කට සින්නක්කර අයිතිය දීමට සහ අඩු ආදායම්ලාභි පවුල් 250,000ක් සඳහා සින්නක්කර නිවාස අයිතිය දීමට සැලසුම් කර තිබෙනවා. රජය සතුව හෝ ව්‍යාපාර කිහිපයක් සතුව එම අයිතිය පවත්වාගැනීමට වඩා අයිතිය ජනතාවට දීමට අප කැප වී සිටිනවා.

“වතුකරය තුළ දැනට පවතින සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට කෘෂි ව්‍යාපාර ඇති කිරීමටත් අප බලාපොරොත්තු වනවා. දැනට ලයින් කාමරවල ජීවත් වන අයට අප ඉඩම් අයිතිය දෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ මුදල් බැඳුම්කර සහ ණයකරවල ආයෝජනය කිරීම වෙනුවට, ඒ සඳහා පවතින ආයෝජන අවස්ථා සොයාබලමින් සිටිනවා. මේ ක්‍රියාවලියට වෘත්තීය සමිති සහ සේවා යෝජකයන් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වනවා.

“සමුපකාර ක්‍රමවේදයක් වන අපගේ ජාතික ධන සම්පත (National Wealth Fund) මඟින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා මහල් නිවාස මිල දී ගැනීමට සහනදායි අරමුදල් සැපයීමට බලාපොරොත්තු වනවා. ජනතාවට දේපළක හිමිකාරිත්වය පිරිනැමීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජනගහනයෙන් බහුතරය වුවද නියෝජනයෙන් අඩු කාන්තාවන් සඳහාත් අප තවත් බොහෝ දේ කළ යුතුයි. ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ හරහාද ක්‍රියාත්මක වන කාන්තා සවිබල ගැන්වීමේ පනත අප ක්‍රියාත්මක කර තිබෙනවා.

“කුලය, ජාතිය වැනි කල් පවතින වැඩවසම් සමාජ කොටස්වලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහිද අප අවධානය යොමු කර තිබෙනවා. ජාතිය, ආගම හෝ කුලය යන කරුණු ඉක්මවා යමින් අප සියලු දෙනාගේ පසුම්බියට එක හා සමානව බලපා ඇති ආර්ථික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු වූ මැතිවරණ ක්‍රියාවලියක් දක්නට ලැබීම ගැන ජනාධිපතිවරයා වශයෙන් මා ආඩම්බර වෙනවා. මේ තත්ත්වය විසින් අපට රටක් ලෙස එක්සත් වීමටත් සමාජ විෂමතා පිළිබඳ පවතින ගැටලු විසඳීමටත් අවස්ථාවක් සලසා දී තිබෙනවා. ළමා රැකවරණය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි ගැටලු විසඳීමටද අප කටයුතු කළ යුතුයි. අපි සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් හඳුන්වා දී තිබෙනවා. එහෙත් තවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මේ සඳහා අවශ්‍ය වෙනවා.

“අවසාන වශයෙන් අපේ දේශපාලන ක්‍රමයටද පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආර්ථික ක්‍රමයේ බිඳවැටීම, ඊට අනුබල දුන් දේශපාලන රාමුවටද ඒ ආකාරයෙන්ම බලපා තිබෙනවා. අනෙකුත් පක්ෂ යල්පැන ගිය ආර්ථික ආකෘතීන් වෙත ආපසු ගමන් කරන විට, එය මියගිය පුද්ගලයන්ට නැවත පණ දීමට දරන උත්සාහයකට සමානයි. මෙය අපට දිගටම කරගෙන යා නොහැකියි. ඒ වගේම අපගේ දේශපාලන පක්ෂවලටත් ඔවුන් ගන්නා තීරණ අවසානයේ අධිකරණයකින් ගත යුතු තීන්දු බවට පත් නොවන ආකරයට, ජර්මනියේ හෝ වෙනත් යුරෝපීය රටවල දක්නට ලැබෙන පරිදි එකම ආකාරයක නීති මඟින් පාලනය වන ස්ථාවර සංවිධාන බවට පත් කළ යුතුයි.

“දූෂණ විරෝධි පියවර ගැනීමද අත්‍යවශ්‍යයි. ඇතැමුන් දූෂණ සම්බන්ධ ලිපිගොනු 400ක් පමණ පෙන්වමින් දූෂණය පිළිබඳ කතා කළත් ඊට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වූයේ 15 දෙනකුට එරෙහිව පමණයි. මේ නිසා අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ඵලදායි පියවර ගැනීමයි. මා බලයට පත් වූ පසු, අප ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියා. දූෂණ විරෝධි නීතිය සහ අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත වැනි නව නීති ඇතුළත් දූෂණ විරෝධි න්‍යාය පත්‍රයක් අප ක්‍රියාත්මක කරනවා.

“මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. ඒ සඳහා එක්සත් රාජධානියේ ආකෘතියට සමාන අයුරින් පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළු යෝජිත වෙනස්කම් සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා. එබැවින් ආර්ථිකය සමඟ දේශපාලන හා සමාජ පද්ධතිද පරිවර්තනය කළ යුතුයි. මේ පුළුල් පරිවර්තනය මඟින් තරුණ පරම්පරාවන්ට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය වනවා. විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිළිබඳ 1991දී වියට්නාම කර්මාන්ත ඇමැති සමඟ පැවති සංවාදය මා නිතර සිහිපත් කරනවා. අප ඉක්මනින් පරිවර්තනයට ලක් නොවන්නේ නම්, ජාතික සංවර්ධනය සඳහා ඔහුගේ උපදෙස් ගැනීමට අපට සිදු විය හැකියි. එනිසා සැප්තැම්බර් 21 දාට මේ සියල්ල පිළිබඳ සිහියේ තබාගන්නා ලෙස ඔබට මතක් කරනවා.”

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:

“පසුගිය වසරේ ප්‍රතිසංස්කරණ දියත් කළ අදියරෙන් පසු අපි නැවත රට ගොඩනැඟීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ පෞද්ගලික අභිලාෂයන් හෝ ඊළඟ මැතිවරණය කෙරෙහි අවධානය යොමු කර නැති බවක් මට දක්නට ලැබුණා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ තීරණ ගැනීමේදී ඇතැම් ඒවා ඉතා අභියෝගාත්මක වුණා. එහිදී ඇතැම් අමාත්‍යවරුන් ඒ ගැටලු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ අවස්ථාද කැබිනට් රැස්වීම්වලදී දක්නට ලැබුණා. ‘සර්, කරුණාකරලා දැන් මේක කරන්න යන්න එපා. ඔබට ඉදිරි වසරේ ජනාධිපතිවරණයකට මුහුණ දීමට තිබෙනවා. මේ ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔබ නැවත ජනාධිපති ලෙස තේරී පත් වීම සඳහා පවතින අවස්ථාවට හානියක් සිදු විය හැකියි.’ යැයි ඔවුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ‘මැතිවරණ චක්‍රය කුමක් වුවත් ගත යුතු තීරණ නිවැරදි මොහොතේ ගත යුතුයි’ කියායි.

“අනාගතයේ පත්වන ඕනෑම රජයකට, සිදුකර ඇති මෙම ප්‍රතිසංස්කරණ අනුගමනය මග සලසමින් ශ්‍රී ලංකාවට පැහැදිලි මාවතක් නිර්මාණය කළේ ජනාධිපතිවරයාගේ නොසැලෙන නායකත්වය සහ නොසැලෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ගුණාංගයයි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතුව තිබෙන අතිවිශාල අත්දැකීම් සමුදාය, අපගේ උත්සාහයන් සාර්ථක වීමට බෙහෙවින් බලපා තිබෙනවා. ”

හිටපු ඇමැති, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා:

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිණත මෙන්ම දුෂ්කර තීරණ ගැනීමේදීද විශිෂ්ට හැකියාවක් පෙන්නුම් කර තිබෙනවා. අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන් ආකාරයට දුෂ්කරතා හමුවේ පවා එතුමා ගත් අධිෂ්ඨානශීලි ප්‍රවේශය අපේ රට ස්ථාවරත්වය කරා යොමු කර තිබෙනවා. කෙටි කාලීන පොරොන්දු සහ සැබෑ කළ නොහැකි සිහින, ඡන්දදායකයන් ආකර්ෂණය කරගැනීමට පෙලඹවීමක් ඇති කළ හැකි නමුත්, 2048 වන විට ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීම අරමුණු කරගත් දිගුකාලීන, යථාර්ථවාදී සැලැස්මක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැප වී සිටිනවා.

“විශේෂයෙන්ම මැතිවරණයකදී ජනප්‍රියත්වය තීරණාත්මක වන විට, ව්‍යාජ පොරොන්දු නොදෙමින් කටයුතු කිරීම පිළිබඳ මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කරනවා. යථාර්ථයක් නොවන සිහින පෙන්වන අනෙක් අපේක්ෂකයන් මෙන් නොව, ඔබතුමා කොතරම් අභියෝගාත්මක බවක් පෙනුණත් ජනතාවට සත්‍යය ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයන් ඉදිරිපත් කරන සිහිනවලට සැබෑ සංඛ්‍යා දත්ත පදනමක්, අත්දැකීම් හෝ යථාර්ථවාදි දැක්මක් නැහැ. මූල්‍ය විනයකින් තොර වන ඔවුන්ගේ ප්‍රතිපත්ති මඟින් අප මේ වන විට අත් කරගෙන ඇති අඛණ්ඩ ආර්ථික ප්‍රකෘතිය අනතුරේ හෙළනවා.”

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නෙරන්ජන් දේව් ආදිත්‍ය, හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, රවී කරුණානායක මහත්ම මහත්මීන් සමඟ සිවිල් සමාජ ක්‍රියාකාරීහු, විද්වත්හු සහ වෘත්තිකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ