අපේ රට බංග්ලාදේශයක් නොවීමට නම් රනිල් නැවතත් ජනපති විය යුතුයි-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

රට බංගලාදේශයක් වීම වළක්වා ගැනීමට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ හෝමාගම, වෙනිවැල්කොල ඡන්ද නිවේදිත මධ්‍යස්ථානය දී ඉකුත්දා (01) විවෘත කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මුළු ලෝකයම දන්නා පරිදි බංග්ලාදේශයේ ජනාධිපතිනිය ප්‍රචණ්ඩ අරගලකරුවන් විසින් පලවා හැරියා. පසුව පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කර, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු විනිශ්චයකාරවරුන් පලවා හැර, හමුදාපතිවරුන්, විනිසුරුවරුන්, විද්වතුන්, බුද්ධිමතුන් එළවා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මහා ව්‍යසනයක් අදත් බංග්ලාදේශයේ සිදු වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ලෙස මේ වන විට එරට කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් කඩා වැටිලා. විදේශ ණය ගෙවා ගත නොහැකි තැනට පත් වෙලා. විදේශ සංචිත දරුණු ලෙස කඩා වැටෙමින් පවතිනවා. රෙදිපිළි, ඇඟලුම් කර්මාන්තය ඇතුළු වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රවල ආයෝජකයන් තම කර්මාන්තශාලා වසා දමනවා. ඔවුන් රට හැර යනවා. ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් රැසකුත් බංගලාදේශයේ ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මේ දිනවල තම ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමට විශාල සටනක නිරත වෙනවා. එරට විශ්වවිද්‍යාලවල, වෛද්‍ය පීඨවල ශ්‍රී ලාංකික ඇතුළු විදේශ සිසුන් රැසක් අධ්‍යාපනය ලබනවා. මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ඔවුන් සිටින්නේ බියෙන් සහ සැකයෙන්. 2022 මැයි මස 09 වැනිදා ප්‍රචණ්ඩ අරගලකරුවන් සහ අන්තවාදීන්ට පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කරන්න පුළුවන්කම ලැබුණා නම් අද බංග්ලාදේශයේ තත්ත්වය ලංකාවෙත් ඇති වීම කිසිවකුටත් වළක්වන්න බෑ.

එදා (මැයි 09) මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමරකීර්ති අතුකෝරල මහතාව මරා දැමීමට පමණයි මෙරට අරගලකරුවන්ට හැකි වුණේ. නමුත් බංග්ලාදේශයේ මන්ත්‍රීවරුන් 26ක් මරා දමලයි මේ විනාශය ඇති කර තිබෙන්නේ. එදා අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අරගලකරුවන් මර්දනය කර නීතිය ක්‍රියාත්මක කර සාමය ඇති කළේ නැත්නම් මේ මස 21 වැනිදාට මේ රටේ ජනාධිපතිවරණයක් නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා හැටියට තේරී පත් වුණා. එම ඡන්දයට විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ රට බේරාගෙන රට ගොඩනැඟිය හැකි අත්දැකීම්, පළපුරුද්ද සහ ජාත්‍යන්තර සහය ගත හැකි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම රටේ වාසනාවක් වුණා.

එදා එතුමා ජනාධිපති වූ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් විස්තීර්ණ ණය ගිවිසුම අනුව ක්‍රියාත්මක වීමෙන් ඉන්ධන, ඖෂධ, ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟතාවක් නැතුව මෙරටට යළි ගෙන්වා ගැනීමට හැකි වුණා. නූල කැඩුණු සරුංගලයක් මෙන් දරා ගත නොහැකි ලෙස ඉහළ ගිය බඩු මිල අඩු වුණා. උද්ධමනය තනි ඉලක්කමකට ආවා. 77න් පසු ඉතිහාසයේ පළමු වරට ගෙවුම් ශේෂය ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති වුණා. රාජ්‍ය අය-වැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති වුණා. උණ්ඩියල් ක්‍රමයට ඩොලරයට රුපියල් 420ක් ගෙවූ අප දැන් ඩොලරයට ගෙවන්නේ රුපියල් 300යි. රුපියල ශක්තිමත් වුණා. සියයට 30කටත් වඩා ඉහළ ගිය බැංකු ණය පොලී අනුපාතය තනි ඉලක්කමට පත් වුණා. නැත්තට නැති වී හුස්ම නොවැටී තිබූ රටේ හුස්ම වැටෙන තත්ත්වයට පත් වුණේ මූල්‍ය අරමුදල සමඟ එකතු වී ජාත්‍යන්තර විශ්වාසය ඇති කර ගත් නිසයි. ඉන්පසු එතුමා මේ රට බේරා ගැනීමට ලෝකයේ බොහෝ ප්‍රධාන රටවල රාජ්‍ය නායකයන් හමුවුණා. ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් රාජධානිය, අමෙරිකාව, ප්‍රංශය රටවල් සමඟ සාකච්ඡා ඇරඹුවා. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය රටවල් නිල ණය කමිටු පිහිටුවාගෙන ලෝකයේ ණය හිමියන් සමඟ අත්සන් කරමින්, සාකච්ඡා කරමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම්වලට අත්සන් කළා.

ඒ නිසා 2042 වන තෙක් ණය ගෙවාගෙන යෑමට හැකි වන ලෙස ආර්ථික වැඩපිළිවෙළ සකස් කළා. මේවා ක්‍රියාත්මක කිරීමට අනාගත ශ්‍රී ලංකාව ගොඩනඟන ජාතික ප්‍රතිපත්තියක් නීති 05කින් ආවරණය කළා. මුදල් අච්චු ගැසීම තහනම් කෙරෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත ඔරොත්තු නොදෙන ආකාරයට ණය ගැනීම වළක්වන රාජ්‍ය ණය කළමනාකරණ පනත විකාරරූපි, ජනප්‍රියවාදී දේශපාලන තුරුම්පු අය-වැය ලේඛනයට ඇතුළත් කිරීම වළක්වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත රටේ කෘෂිකර්ම, කර්මාන්ත, ආනයන, අපනයන, සංචාරක, ආයෝජන වැනි සෑම ක්ෂේත්‍රයකම පුළුල් වෙනස් කම් ඇති කරන ආර්ථික පරිවර්තන පනත, හොරු අල්ලන, හොරකම, වංචාව, දූෂණය වළක්වන දූෂණ විරෝධී පනත මෙකී පනත් පහ ලංකාවේ අනාගතය තීරණය කරන ප්‍රධාන නීති පහයි. එපමණක් නොව මේ අණ පනත්වල ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ආයතන පිහිටුවීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අතරින් පළමුවැන්න ආර්ථික කොමිෂන් සභාවයි. දෙවැන්න නිදහස් වෙළෙඳ කලාප සහ ජාත්‍යන්තර වෙළෙදාම් පිළිබඳව කාර්යාලයයි. තෙවැන්න ජාතික ඵලදායිකත්ව කාර්යාලයයි. සිව්වැන්න ආර්ථික විද්‍යා හා විදේශ වෙළෙදාම් පිළිබඳ ආයතනයයි.

මෙකී නීතිගත කොට ඇති ජාතික ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් රට හමුවේ තබා ඇති එකම අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමායි. ඔබ සැප්තැම්බර් මස 21 වැනිදා ඡන්දය පාවිච්චි කරන්නේ දේශපාලන පක්ෂයක් හෝ පක්ෂයක ප්‍රතිපත්ති දිනවීමට නොව රට ගොඩනඟන, ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනුයි. සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් නොවුණොත් මේ නීතිගත කර ඇති වැඩපිළිවෙළ කිසිවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් අනාගත ශ්‍රී ලංකාව අද බංග්ලාදේශයේ තත්ත්වයට පත් වීම වළක්වා ගැනීමත් අසීරු වෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ, පාට, ඒ ඒ පක්ෂවල සිතුම් පැතුම්, ආකල්ප ගැන මායිම් නොකර රට ගැන සිතා, රටේ අනාගතය ගැන සිතා, ඔබේ දරුවන්ගේ අනාගතය ගැන සිතා වඩා බුද්ධිමත් තීරණය තර්කානුකූලව ගැනීමට අපේ රටේ ජනතාවට හැකි වෙතැයි මා සිතනවා.” යනුවෙන්ද ‍ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.