අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බැවින් අද (04) දහවල් 12:09 ටකළුතර, නිවිතිගල, කහවත්ත සහ ඔකන්ද ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.