ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් ගැටුම 2025 ජූනි 11 සිට ලෝඩ්ස් පිටියේදී

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය 2025 වසරේ ජූනි 11 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිල වශයෙන් අවසන් තරගයේ දින ප්‍රකාශයට පත් කළ අතර, තෙවැනි වරට පැවැත්වෙන මේ ශූරතාවලිය යටතේ 2023 සිට 2025 තරග පැවැත්වෙයි. කණ්ඩායම් 9ක් එක්වන ශූරතාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත. මේ තරගය ජුනි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අවශ්‍ය වුවහොත් 16 වැනිදා අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.

මේ වන විට ශූරතාවලියේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටී. ඊයේ ජය සමඟ බංග්ලාදේශය සිව්වැනි තැනට පත් වූ අතර, එංගලන්තය 5 සහ දකුණු අප්‍රිකාව 6 වැනි තැන්වල සිටියදී එංගලන්තයේදී පසුගියදා නිමා වූ තරග ද්විත්වය පරාජය වූ ශ්‍රී ලංකාව 7 වැනි තැනට වැටී තිබේ.

පාකිස්තානය 8 වැනි තැන සිටියදී බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් ස්ථානයේ පසු වෙයි. මින් පෙර පැවති ශූරතාවලි ද්විත්වයේදී පිළිවෙළින් නවසීලන්තය (2021) සහ ඔස්ට්‍රේලියාව (2023) ශූරයන් බවට පත් විය.