රාජ්‍ය අමාත්‍ය දිළුම් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී

ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට වෙන් වෙන්ව සහයෝගය දෙමින් සිටින දේශපාලන පක්ෂ හා දේශපාලනඥනයන් ගණනාවකගේ සහභාගිත්වයෙන් නව සන්ධානය කොළඹ වෝටර්ස් එජ් හෝටල් සංකීර්ණයේදී අනිද්දා (5) බිහි වන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනාහිමිවරුන් දෙනමගේ ආශීර්වාදය ගැනීමට එම විහාරස්ථාන වෙත ඊයේ (2) ගිය අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභාපති ලෙසත්, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ලේකම් ලෙසත් කටයුතු කරන මේ සන්ධානයේ සෙසු තනතුරු සඳහා සුදුසන් පත් කරගැනීම මෙදින සිදු කරන බවද කී ඒ මහතා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සහ ටිරාන් අලස්, අසංක නවරත්න, නිමල් ලාන්සා, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්දා වැනි ප්‍රවීණ දේශපාලනඥයන් රැසක් නව සන්ධානය හා එක් වන බව පැවසීය. ඊට අමතරව රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම තවත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයන් රැසක් නව සන්ධානය සමඟ එක් වන බවද ඔහු අවධාරණය කළේය. ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම හේතුවෙන් තමා ඇතුළු පිරිස ඔවුන් නියෝජනය කරන පක්ෂවලින් ඉවත් කිරීමේ අවදානමක් තිබෙන බවත්, එය සැලකිල්ලට ගනිමින් නව සන්ධානය බිහි කිරීමට තීරණය කළ බවත් අමුණුගම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මෙතෙක් දේශපාලනඥයන් කළේ පක්ෂය විසින් නම් කරනු ලබන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට කටයුතු කිරීම බවත්, මෙවර එය වෙනස් වී රට ගොඩ ගැනීමට හැකි නායකයා කවුද කියා තීරණය කර දේශපාලනඥයන් ඔහු දිනවීමට එකතු වී සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසුවේය.