පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු රනිල්ට: පාක්ෂිකයන් නාමල්ට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සිටින්නේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සමඟ බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුගේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. මෙහිදී අදහස් දැක්වූ රත්නායක මහතා කියා සිටියේ, පසුගිය කාලය තුළ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කළ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් කිහිපදෙනකු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක් වුවද පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන් කිසිවකුට පාක්ෂිකයන් ජන්දය ලබා නොදෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.