ජාත්‍යන්තරය සමඟ ජනපති රනිල් ඇති කර ගත් ගිවිසුම් වෙනස් කළොත් රට විනාශයි

මේ රට බේරා ගැනීමටත් යළි ණය බරින් නිදහස් වී දිළිඳුකම පිටුදැක දියුණු රටක් බවට පත්වීමට අදාළ වන පරිද්දෙන් කෙටිකාලීන හා දිගුකාලීන ජාත්‍යන්තර ගිවිසුම් රැසකට ලංකාණ්ඩුව අත්සන් තැබූ බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ඉන් පළමුවැන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවුරුදු හතරකට ඇති කර ගත් වී ණය ගිවිසුම බවද සඳහන් කළ ඇමැතිවරයා එම ගිවිසුම වෙනස් කළොත් ආණ්ඩුවට අය-වැය සකස් කිරීමට නොහැකි වන බවද සඳහන් කළේය.

2025, 2026 හා 2027 වසරවල අය-වැය සැකසීමට අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න අය-වැය මූල්‍යකරණ සහාය ලබා දෙනුයේ IMF ගිවිසුම රැක්කොත් පමණක් වීම ඊට හේතුව බවද ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පිළියන්දල පැවති ‘ ජනපතිවරණය 2024 එක්ව ජයගමු ‘ තේමාව යටතේ කැස්බෑව ආසනයේ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

විදේශ ණය ගෙවීමට ඒකාබද්ධ ආධාර කණ්ඩායම සහ චීනය හා වෙනත් ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවන ආකාරය අනුව ආණ්ඩුව ක්‍රියා නොකළහොත් ශ්‍රී ලංකාවට විරුද්ධව ලොව පුරා අධිකරණවල නඩු පැවරීම් සිදු වෙනු ඇති.

මෙකී ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුරූපී වන පරිද්දෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන අණ පනත් 5ක් සම්මත කර තිබෙනවා.

එනම් මුදල් අච්චු ගැසීම තහනම් කෙරෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත,ආණ්ඩුවට හිතෙන පරිද්දෙන් ණය ගැනීම වළක්වන රාජ්‍ය ණය කළමනාකරණ පනත,ජනප්‍රියවාදී දේශපාලන පොරොන්දු ඇතුළත් කර අයවැය සෑදීම වළක්වන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත,රට ගොඩනඟන ජාතික ප්‍රතිපත්තියේ ගමන් මඟ නිශ්චිත වශයෙන් දක්වන ආර්ථික පරිවර්තන පනත හා හොරු අල්ලන,වංචාව දූෂණය වළක්වන දූෂණ විරෝධී පනත ඊට අයත්.

ඒ නිසා රට ගොඩනඟන ඉතා පැහැදිලි නිශ්චිත වැඩපිළිවෙළක් නීතිගත කර මෙවර ජනපතිවරණයට එන එකම ජනපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

එබැවින් රැවටිලිකාර ප්‍රෝඩාකාරී සුරංගනා කතා වැනි මැතිවරණ පොරොන්දු දෙන කිසිම අපේක්ෂකයකුට දේශපාලනය කළ හැකි වුවත් ආණ්ඩු කළ නොහැකියි.

ඒ නිසා ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුම්වලින් බැහැර වුවහොත් රට තව දශක ගණනාවකට ගොඩගත නොහැකි දරුණු අගාධයකට ඇද වැටීම කිසිසේත් වළක්වාගත නොහැකි වේවි.

අපේ රට ග්‍රීසිය,වෙනිසියුලාව, සිම්බාබ්වේ,ඇෆ්ගනිස්තානය,ඝානාව,කොස්ටරිකා වැනි රටක් බවට පත් වීම වළක්වා ගත හැක්කේ සිලින්ඩරයට කතිරයක් ගැසීමෙන් පමණයි.

මෙවර රටේ ආණ්ඩු කර ඇති එජාපයවත්, ශ්‍රීලනිපයවත්, මඑපෙවත්, පොදු ජන එක්සත් පෙරමුණේ බහුතරයවත් ස්වකීය පක්ෂවලින් අපේක්ෂකයන් ඉදිරිපත් නොකර ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ පක්ෂයක් පාටක් දිනවීමට නොව රට දිනවීමටයි.

රටේ විනාශයට උදව් වන අත්හදා බැලීම්වලට මේ කාලය නොවෙයි. මේ වෙලාවේ රනිල් තමයි යනුවෙන්ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ,ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු කථිකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.