සජිත්ට මේ ඡන්දය දිනන්න බෑ – ජනපති කැකිරාවේදී කියයි

ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්-අනුර අද ඡන්දය ඉල්ලන්නේ මා ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසයි

-ජනපති කැකිරාවේදී කියයි

එදා ආර්ථික අභියෝගයට බියේ පැන ගිය සජිත්ට සහ අනුරට අද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ තමන් රට තුළ ඇති කළ ආර්ථික ස්ථාවරත්වය නිසා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සජිත්ට මෙම මැතිවරණය ජයගත නොහැකි බවත්, සජිත්ට ලබාදෙන ඡන්දය අනුරට ලබාදෙන ඡන්දයක් වන බවත් කී ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදෙන ලෙසද එම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය ඊයේ (01) පස්වරුවේ අමතමිනි. මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. තම නි‍ෙවස කඩා වැටුණොත් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නේ ශක්තිමත් පදනමක් මත බවත්, පෙර අත්තිවාරම දෙස බලා එය ගොඩනැ‍ඟීමට අවශ්‍ය පියවර අප හඳුනා ගන්නා බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා මෙවර ජනතා වරමක් ඉල්ලා සිටින්නේ එම නිවස ගොඩනැ‍ඟීම වෙනුවෙන් බව ද සඳහන් කළේය. සජිත් හා අනුර ජනවරම ඉල්ලන්නේ තිබෙන නි‍ෙවසත් ගිනි තබා දැමීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වනු ඇති බව ද කියා සිටියේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් එදා මා වගකීම ගෙන කටයුතු නොකළා නම් අද තත්ත්වය මීට වඩා වෙනස් වන්නට තිබුණා. එදා මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා. මම එම තත්ත්වය පාලනය කළා. එදා මම එම පියවර නොගත්තා නම් එදා ලංකාව, අද බංග්ලාදේශය මුහුණ දී සිටින තත්ත්වයට පත් වෙනවා. කවුරුවත් බංග්ලාදේශයේ වගකීම භාරගත්තේ නැහැ. මිනිසුන් ඝාතනය කරනවා. අගවිනිසුරුවරයා පන්නා දමා තිබෙනවා. එවන් තත්ත්වයකට අද ඔවුන් පත් වෙලා සිටිනවා.

නමුත් මම සියලුදෙනා එක් කරගනිමින් එදා මේ රටේ ආණ්ඩුක් හැදුවා. අනුරටයි, සජිත්ටයි ඊට එක්වන ලෙස මා ආරාධනා කළා. නමුත් ඔවුන් අවේ නැහැ. දැන් රාජපක්ෂලා ඉවත් වූ විට කියනවා රාජපක්ෂවරුන් අයින් වෙනවා කියලා දන්නවා නම් අප මෙතන ඉන්නවා කියලා. අපි ඇවිල්ලා 70%ක තිබූ උද්ධමනය 2%ක් දක්වා අඩු කළා. රතු පරිප්පු 40%කින් අඩු කළා, තිරිඟු පිටි මිල 29%කින් අඩු කළා. කුකුල් මස් මිල 11%කින් අඩු කළා. ඩීසල් මිල 28%කින් සහ ගෑස් මිල 31%කින් අඩු කළා. දළ දේශීය නිෂ්පාදනය 2023 වසරේ දී ඩොලර් බිලියන 84ක් බවට පත් කළා. අප එය තවත් ඉහළ නංවා ගත යුතුයි. ඒ වගේම අපි රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. දැන් උදය ආර්. සෙනෙවිරත්න වාර්තාව අනුව ඉදිරියේ දී වැටුප් වැඩි කරනවා. ඒ වගේම අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් ලබා දුන්නා. බංකොලොත් රටක් වුවද අප මෙම වැඩ කොටස ක්‍රියාත්මක කළා. ඒ වගේම ගොවි ජනතාවට පොහොර ලබා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට මේ ප්‍රදේශයේ ලක්ෂ ගණනකට සින්නකර ඉඩම් අයිතිය හිමිවෙනවා. අප රට තුළ ඇති කළ මෙම ස්ථාවරත්වය නිසා තමයි අද ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි වී තිබෙන්නේ. බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. දැන් ඔවුන්ට මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. නමුත් අප ගත් පියවර නිසා තමයි අද සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. ඔවුන් එදා පැනලා ගියා, අද ඡන්දයකට එනවා. මෙය තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය කියා මම ඔවුන්ට කියන්න කැමතියි.

අපි කණ්ඩායමක් ලෙස එක්වෙලා මේ රට හැදුවා. අප රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කර ගනිමින් විදේශ විනිමය ඉහළ නංවා ගත යුතුයි. ඒ වෙනුවෙන් අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. මම මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා වූ ජනවරමයි.

අපි පස් වසරක සැලැස්මක් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ මේ වන විට ජනතාව හමුවේ තබා තිබෙනවා. අප ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කරලයි. රුපියල ශක්තිමත් කරන්නේ මේ රටේ දළ දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීම තුළිනුයි.

නමුත් සජිත් සහ අනුර කියන විදිහට බදු අඩු කළොත් රටේ ආදායම තවත් අඩු වෙනවා. එවිට රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. 2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බදු අඩු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ මේ රටේ ජනතාවට පෝලිම්වල සිටීමට සිදු වුණා. මෙවැනි වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි වන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ තවත් රටවල් 17ක් සහයෝගය ලබා දී තිබෙනවා. අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළොත් නැවත 2022 වසරේ තිබූ තත්ත්වයට යාමට සිදුවන බව මම කනගාටුවෙන් වුවද කිව යුතුයි. අපි ඇති කළ ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා යුතුයි. බංග්ලාදේශයේ වගේ අවුලක් මේ රටේ ඇති කරගන්න බැහැ.

ඒ වගේම මෙහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම වචනයක් කියන්න කැමතියි. අද එක්සත් ජාතික පක්ෂය බෙදිලා තිබෙනවා. ඇතැමුන් හිතනවා සමගි ජන බලවේගයට යන්න ඕන කියලා. නමුත් ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්තිය තිබෙන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ මම කියලා කිව යුතුයි.

සජිත්ට මේ ඡන්දය දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දය අනුරට දෙන ඡන්දයක් බව කිව යුතුයි. මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න, අනුරට උදව් කර අපේ ප්‍රතිපත්ති අපි නැති කරගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු. මේ රටේ ජයග්‍රහණය තහවුරු වන්නේ මගේ ජයග්‍රහණය මත බව මම මෙහි දී ප්‍රකාශ කිරීමට කැමතියි.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය පී. හැරිසන් මහත්වරුද මෙහි දී අදහස් දැක්වූහ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍ය අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී. මුතුකුමාරණ, ඉෂාක් රහුමාන්, වීරසේන ගමගේ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, එක්සත් ජාතික පක්ෂ කැකිරාව සංවිධායක එස්.බී. අබේසිංහ යන මහත්වරු ඇතුළු පක්ෂ රැසක් නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධාකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.