ලෙව්වන්දූවේ චන්දවිමල නාහිමි අපවත් වෙති

බෙන්තොට වනවාස රාජමහා විහාරාධිපති නාහල්ලේ ඉන්දසිරි නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස 1964.04.23 වැනි දින පැවිදි දිවියට පත් උන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සභායතන උපෝසථාගාරයේදී 1972.06.22 වැනි දින උපසම්පදාව ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ලද උන් වහන්සේ ගුරුවරයකු වශයෙන් ද විදුහල්පතිවරයකු වශයෙන් ද සුවිශාල ධර්ම ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළහ. පාසල් දිවියෙන් විශ්‍රාමගත් උන් වහන්සේ ග්‍රන්ථකරණයට යොමු වූ අතර ධර්ම ග්‍රන්ථ රැසක් රචනා කළහ.

බෙන්තර වනවාස රාජමහා විහාරය, පයාගල ඇළබඩ ශ්‍රී ඉන්ද්‍රජෝත්ත්‍යාරාමය, බණ්ඩාරගම රඹුක්කන රාජමහා විහාරය හා මැදගොඩලන්ද රාජමහා විහාරය ආදි විහාර ගණයේ අධිපතිත්වය ඉසුළූ උන් වහන්සේ එම විහාරස්ථානවල වර්තමාන දියුණුවේ නියමුවෝය.

දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝ නායක පදවිය ද කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය හා අතිරේක උපාධ්‍යාය පදවිවලින්ද උන් වහන්සේ පිදුම් ලදහ. සංඝ ශෝභන ගුණාංගයන්ගෙන් පිරි ලෙව්වන්දූවේ චන්දවිමල නාහියෝ ධර්මධර විනයධර ශික්ෂාකාමී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් සසුනට දායාද කළහ.

උන් වහන්සේගේ ධර්මදූත සේවාව රටට පමණක් සීමා නොවූ අතර ආසියාව හා යුරෝපය වෙත ද යොමු වූහ.

සම්බුදු සසුන වෙනුවෙන් දිවි කැප කළ උන් වහන්සේ පෙරේදා (31) සසුනඹරෙන් සමු ගත්හ. උන් වහන්සේගේ දේහය මැදගොඩලන්ද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කොට ඇති අතර ආදාහන පූජෝත්සවය 4 වැනිදා ප.ව. 3ට අතුරුගිරිය මහාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.