දිවි තොර කරගන්න උඩින් පැන්න ජපන් සිසුවිය නිසා තවත් කාන්තාවකට දිවි අහිමි වෙයි

ජපානයේ යොකෝහාමා හි සාප්පු සංකීර්ණයකින් බිමට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබෙනවා.

ඇය එම ගොඩනැගිල්ලෙන් පනින අවස්ථාවේ පදික වේදිකාවේ ගමන්කරමින් සිටි තරුණියකගේ ඇඟට වැටී අතර සහන කණ්ඩායම් විසින් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාම අදාළ සිදුවීමෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සියදිවි හානි කර ගත් සිසුවිය 17 හැවිරිදි වියේ සහ මියගිය අනෙක් කාන්තාව 32 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

අදාළ සිසුවිය සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසර තුළ ජපානයේ පාසල් ළමුන් 513 දෙනෙකු පමණ සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඇතැම් පාර්ශ්ව පෙන්වාදෙන්නේ ජපානයේ පාසල් පද්ධතිය තුළ හටගන්නා ගැටලුකාරී තත්ත්වයන් එම මරණ සිදුවීමට හේතු වී ඇති බවටයි.

මීට අමතරව පවුල් පරිසරය තුළ මතුවන ගැටලු, මිතුරන් සමග හටගන්නා ගැටුම් සහ හිරිහැර කිරීම් ද එරට පාසල් ළමුන්ගේ මරණවලට හේතු වී ඇති බව සඳහන්.

ජපානයේ සියදිවි නසාගැනීම් අනුපාතය සාමාන්‍ය ජනතාව අතර ක්‍රමයෙන් අඩුවෙමින් පවතින නමුත් තරුණ ජපන් ජනතාව අතර එම තත්ත්වය ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.