රෑ වැටුණු වළේ දවල් වැටෙනවාද? කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පෙරේදා (31) ප්‍රකාශ කළේය.
බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දෙන සජිත් – අනුර යළි සූදානම් වන්නේ රට නැවත වළට ඇද දැමීමට බව කී ජනාධිපතිවරයා තමා ජනතා සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බව සඳහන් කළේය.
අපනයන ආර්ථිකයක් ඇති කළ පසුව බදු බර අඩු කරන්නට හැකි බව කී ජනාධිපතිවරයා ඒ හැර වෙනත් මාර්ගයක් නැතැයිද බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම්ගත යුතුව ඇතැයි ද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැලි පහක් පෙරේදා (31) බණ්ඩාරවෙල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සමන්තුරේ සහ කාත්තන්කුඩිහිදී පැවැත්විණි.
මෙම ජනරැලි සියල්ලකටම අති විශාල ජනකායක් සහභාගි වූහ.
එම ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ආර්ථිකය ස්ථාවර කරමින් අප යන මේ මාර්ගය තවදුරටත් ගෙන යා යුතුයි. අප අත්හැරියොත් නැවත මේ රටේ ආර්ථිකය අත්හැරෙනවා. අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. ස්ථාවර බවක් ඇති කළ යුතුව තිබෙනවා. එමෙන්ම අපනයන ආර්ථිකයකට යා යුතුව තිබෙනවා. අප සහන දී තිබෙන්නේත් ජනතාව ජීවත් වන්නේත් මූල්‍ය අරමුදල සමඟ ගත් පියවර නිසයි. ඒ පියවර ආරක්ෂා කරනවාද? නැද්ද? කියා අප තීරණය කළ යුතුයි.
රට දියුණු කිරීම සඳහා මගේ පරමාර්ථ පහක් තිබෙනවා. ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම මෙන්ම ආර්ථික පරිවර්තනයක් කොට අපනයන ආර්ථිකයක් ඇති කිරීම සහ අස්වැසුම සහ උරුමය වැඩසටහන් ආරක්ෂා කිරීම එම පරමාර්ථ පහයි.
මම රට භාර ගන්නා විට තිබූ බඩු මිල තුනෙන් එකක් අද අඩුවී තිබෙනවා. එනිසා දැනට සහනයක් ලැබී තිබෙනවා. සහනය තවදුරට ගෙන යා යුතුයි. මා මෙයින් පමණක් සෑහීමකට පත්වන්නේ නැහැ. අප ක්‍රමානුකූලව ඒ සහනය ලබාදිය යුතුව තිබෙනවා.
මම බඩු මිල කෘත්‍රිමව අඩු කළේ නැහැ. සහනාධාර දුන්නේ නැහැ. මා කළේ රුපියල ශක්තිමත් කිරීමයි. ඒ අනුව අප දළ ජාතික ආදායම වැඩි වුණා. ඒ අනුව අස්වැසුම දෙන්න හැකි වුණා. නොමිලේ සහල් දුන්නා. එමෙන්ම බඩු මිලත් ටිකෙන් ටික අඩු කළා.
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට අප කටයුතු කළා. එමෙන්ම ඉදිරියේදී බඩු මිල තවත් අඩු කරන්නට පුළුවන්. අනුර සහ සජිත් කියන්නේ කුමක්ද? බදු අඩු කරන බව කියනවා.
අප මෙතැනට වැටුණේ ගෝඨාභය විචාරයකින් තොරව බදු අඩු කළ නිසයි. එලෙස බදු අඩු කළොත් අපට අයි.එම්.එෆ් සහනය ලැබෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ රටේ ආදායම වැඩි කරන ලෙසයි. අප කළ යුතු එකම දෙය රුපියල ශක්තිමත් කිරීමයි. එය නොකළොත් කිසිම දියුණුවක් ඇතිවන්නේ නැහැ. අප අපනයන ආර්ථිකයක් ඇති කළොත් තායිලන්තය සිංගප්පූරුව වගේ විදෙස් රටවලින් ආදායම එනවා. එවිට බදු බර අඩු කරන්න පුළුවන්. වෙන මාර්ගයක් නැහැ. බොරු පොරොන්දු ලබාදී ආර්ථිකය දිනන්න බෑ. ආර්ථිකය නග්ගන්න බෑ. එය හොඳින් අවධාරණය කළ යුතුයි.
අප හැමදෙනාටම ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. උරුමය ලබාදී තිබෙනවා. ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. ඊළඟ වසර තුනේදී ඉතිරි ලක්ෂ 19කටත් සින්නක්කර ඔප්පු ලබා දෙනවා. දැන් අප අස්වැසුම ලබා දෙනවා. තව ලක්ෂ පහකට ඉදිරියේදී දෙන්න යනවා. එම ප්‍රමාණය තව තවත් වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.
අඩු ආදායම්ලාභීන් සියයට විසිපහේ සිට සියයට 10 දක්වා අඩු කිරීම අපේ සැලසුමයි.
එමෙන්ම අප ලබන වසරේදී රැකියා මෙන්ම ස්වයං රැකියා ලක්ෂයක් ලබා දීමට කටයුතු කරනවා. අනුර දිසානායකට හෝ සජිත්ට මේ වගේ යෝජනා නැහැ. දැනට පුහුණුව ලබා දෙන අයට අමතරව තවත් පනස්දාහකට රැකියා පුහුණුව ලබන්න මුදල් දෙනවා. තරුණ තරුණියන්ට මෙලෙස රැකියා හා ආදායම් ලබා දෙන්නේ පළමු වරටයි.
අප අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.
පළමුවැන්න කෘෂිකර්ම නවීකරණයයි. වී වගාව හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් හතක් ලබා ගැනීමට අප ආධාර උපකාර කරනවා. එමෙන්ම අප ධීවර කර්මාන්තයේ දියුණුවටත් සහනාධාර ලබා දිය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් කර සංචාරකයන් ලක්ෂ 25 සිට ලක්ෂ පනහ දක්වා වැඩි කරනවා. නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරක කලාපයක් ඇති කරනවා.
ආසියාවේ ලොකුම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරාය කිසිම ආණ්ඩුවකින් දියුණු කළේ නැහැ. ඉන්දීය ආණ්ඩුව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කරන වැඩසටහන අරඹනවා.
අප තෙල් ටැංකි ටික අරගත්තා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගේනවා. එවිට බලශක්ති මධ්‍යස්ථානයක් මෙහි බිහිවෙනවා. සාම්පූර්වල සූර්ය බලශක්තිය තිබෙනවා. පුල්මුඩේ සිට ඛනිජ වැලි මෙහාට ගේනවා. එවැනි කැපී පෙනෙන දියුණුවක් අප ඇති කරනවා.
එමෙන්ම අප හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ දියුණු කරනවා. සේරුවිල විහාරය තවත් දියුණු කරන්නට අප ආධාර උපකාර කරනවා. සේරුවිල විහාරයට අමතරව කෝනේෂ්වරන් කෝවිල මෙහි තිබෙනවා. එය පැරණි කෝවිලක්. එය දක්ෂිණ කෛලාස් ලෙස හින්දු භක්තිකයන් හඳුන්වනවා. එහි ගෝකුළම් මධ්‍යස්ථානයක් ඉදි කරන්නට කටයුතු කරනවා.
ත්‍රිකුණාමලය දියුණු කළ යුතු බව සම්බන්ධන් මහතා නිතරම මා සමඟ කිව්වා. මා ඒ පොරොන්දුව ඉටු කරනවා. එමෙන්ම සිවිල් ආරක්ෂකයන්ගේ ප්‍රශ්න ටිකත් අප විසඳනවා.
විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා,
රට කඩා වැටුණු වෙලාවේ අප සියලු දේශපාලකයන් අනාථ වෙලා හිටියා. ඇත්තටම අප බය වෙලා හිටියා. ආර්ථික ඔස්තාර්වරුන් සමඟ ඇවිත් රට භාර ගන්නා ලෙස අප ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. තනි පුද්ගලයකු ලෙස රනිල් වික්‍රමසිංහ වගකීම භාර ගත්තා. පක්ෂ පාට භේද ජාති ආගම් භේද පසෙක දමා ඔහු සමඟ කඳවුරු බැඳගෙන සිටින්නේ ඒ නිසයි.
අප ඔහුට විරුද්ධව වැඩ කළ අයයි. ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳ තිබෙන දැනීම පසුගිය අවුරුදු දෙකේ අප ඇස් දෙකෙන්ම දැකබලා ගත්තා.
අප ආර්ථිකය මෙන්ම විදේශ රටවල් දිනාගත යුත්තේ මිනිසුන් බෙදා නොව මිනිසුන් එකතු කරගෙන බව රනිල් වික්‍රමසිංහ අපට උපදෙස් ලබා දී තිබෙනවා.
ෆේස්බුක් අඩවියේ හොඳ කතාවක් තියෙනවා මා දුටුවා. ‘ජනතාව රනිල්ට ඡන්දය දුන්නොත් ඔහු තමයි සැප්තැම්බර් 21 සිට ජනාධිපති. හැබැයි ජනතාව ඡන්දය නොදුන්නත් ලබන දෙසැම්බර් වන විට රනිල් ජනපති. ඒ රට වැටුණු විට ඔහුට යළි රට භාර ගැනීමට සිදුවන නිසයි.’ යනුවෙන් එම ෆේස්බුක් සටහනේ තිබුණා. හැබැයි ජනවරමකින් තොරව යළි ඒ අභියෝග භාර නොගන්නා බව ජනපති සඳහන් කරනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දේශපාලන කඳවුරු රැසක හිටපු අප අද එක වේදිකාවකට පැමිණ සිටිනවා. එයම ජයග්‍රහණයක් නොවේද? පිල් ගොඩකට බෙදී අප විවේචනය කරගත්තා. නමුත් අද මේ වේදිකාව වගේම මුළු රටම රනිල් වික්‍රමසිංහ නායකයා වටා එක්වී තිබෙනවා.
එදා හිටපු නායකයන් එළවා දමා කිසිවකුත් රට භාරගත්තේ නැහැ. ජාතික ආරක්ෂාව බිංදුවට වැටුණා. ආර්ථිකය බිංදුවට වැටුණා. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. රට වැටුණු අවස්ථාවේ එය භාර ගන්නා ලෙස අප විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. අනුර දිසානායකගෙන් ඒ ඉල්ලීම කළා. එලෙස අභියෝග භාර නොගත් ඔවුන් අද වේදිකා ගාණේ කටමැත දොඩවමින් ඉන්නවා.
බණ්ඩාරවෙල රැලියේ අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
ඔබ අප සියලුදෙනා අපගේ ජීවිත කාලයේ තීරණාත්මක ජනාධිපතිවරණයට එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා මුහුණ දෙනවා. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට අප මුහුණ දුන්නා. අද වේදිකාවේ කයිවාරු ගහන ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය ඒ අවස්ථාවේ රට භාරගන්න ඉදිරිපත් වුණේ නැහැ.
එහෙම තත්ත්වයක තිබුණු රට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ජාත්‍යන්තර නායකයන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කර අද රටට හුස්ම ගත හැකි තත්ත්වයට ගෙනවිත් තිබෙනවා.
ඒ වගේම රටේ ආර්ථික පරිවර්තනය ඇතුළු ජාත්‍යන්තරය සමඟ ඇති කරගත් එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කළ එකම රාජ්‍ය නායකයා වන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,
අද මෙතනට පැමිණ සිටින ඔබතුමාලා මීට අවුරුදු දෙකකට පෙර හිටපු තත්ත්වය ගැන මතක් කරගන්න. එදා උදේ නැඟිටලා ගෑස් හෙව්වේ. දර ළිප පත්තු කරන්න භූමිතෙල් ටිකක් හොයාගන්න උත්සාහ කළා. මේ රටේ මිනිස්සු මැරි මැරී ඉපදෙනකොට ජනතාව බේරගන්න ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිටින්නේ තුන්දෙනයි.
එයින් දෙදෙෙනකු රටේ ජනතාව දුක් විඳිමින් සිටින අවස්ථාවේ ඒ ජනතාවගේ දුක දැකලා ඒක විසඳීමේ අභියෝගය භාරගන්න බැරිව ඇඟ බේරාගත් අයයි.
වරාය නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා,
වතුකරයේ ජනතාව වගේම අනෙකුත් සියලු පක්ෂ නියෝජනය කරන සියලු බලවේග අද මේ වේදිකාවේ සිටිනවා. මේ තමයි සමඟියේ සහ යුක්තියේ වේදිකාව. ඒ වගේම මේ කෘතවේදීත්වයේ වේදිකාවයි. මේ දිස්ත්‍රික්කයේ අප බත් කන අය මිස තණකොළ කන මිනිසුන් නොවෙයි. මේ දිස්ත්‍රික්කයේ ඉන්නේ කෘතවේදීත්වය හොඳින් හඳුනන ඒ වගේම කළගුණ සැලකීම දන්න මිනිස්සු බවත් කිව යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ කිසිම ජාති, ආගම් භේදයක් නැහැ. මේ රට ගොඩ දමන අරමුණ කරා ගමන් කරන්නට සහාය ලබා දෙන මිනිසුන් සිටින දිස්ත්‍රික්කයක් බව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් නැවත වරක් තහවුරු කරනවා.
පොලොන්නරුව රැලියේ දී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
ජනාධිපතිවරයා දිනවීම සඳහා නිර්භීතව ඉදිරිපත් වී සිටින මේ ජනතාව දුටු විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්රහණයක් වන බව විශ්වාසයි. මීට දවස් දෙකකට පෙර ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වූවා. අනුර කියනවා ඍජු බදු අඩු කරනවලු, වක්‍ර බදු අඩු කරනවාලු, වියදම වැඩි කරනවලු, එහෙම කරන්න ගිහින් තමයි පොහොට්ටු ආණ්ඩුව බිඳ වැටුණේ. යල් පැනගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු බව ජනතාව මීට වසර දෙකකට පෙර අත්වින්දා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමක් කිසිවකුට වෙනස් කළ නොහැකියි. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අනිවාර්යයෙන් බිඳ වැටෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික කළමනාකරණ හැකියාව නිසා මේ වන විට ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට හැකි වී තිබෙනවා. එහි ප්රතිලාභ මේ රටේම ජනතාව අද අත්විඳිමින් සිටිනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කළහොත් නැවත රට විනාශ වෙන එක වළක්වන්න බැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා,
2022 වසරේ ගෑස්, ආහාර, ඉන්ධන පෝලිම්වල ඔබ දුක් විඳින විට අද මේ බලය ඉල්ලා සිටින කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාය කියන විපක්ෂයේ කණ්ඩායම් දෙකම එදා රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් මේ වන විට කළ නොහැකි දේ ප්‍රතිපත්ති ප්රකාශනය හරහා ඉදිරිපත් කරමින් ජනතාව මුළා කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ සිදුකළ භීෂණය උතුරු මැද පළාතේ ජනතාවට අමතක නැහැ. ඒ බියෙන් තැති ගත් කාලය අමතක වෙන්නෙත් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා:-
අපේ රටේ ආර්ථිකය වැටිලා, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකිව බංකොලොත් වී සිටින වෙලාවේ රට භාර ගන්න නායකයකු හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකු ලෙස සිටියත් ඒ වගකීම භාරගෙන රටේ ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ බව ජනතාව අත්දුටුවා. ලබන සැප්තැම්බර් විසිඑක් වැනිදා එතුමා නැවත බලයට පත් කරවීම මේ ජනතාව ලබා දෙන්නේ එතුමා කළ සේවයට කෘතවේදීත්වය පළ කරන මනාපයයි.
තවද සමඟි ජන බලවේගයේ සේරුවාවිල ආසන සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරු ද ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වී තිබේ.
ත්‍රිකුණාමලය උවරමලේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට පෙරේදා (31) පැමිණි එම දෙපළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තම සහයෝගය ප්‍රකාශ කළහ.