දකුණු අප්‍රිකානු රූ රැජන තරගයෙන් ඉවත් කළ තරුණිය නයිජීරියාවේ රූ රැජන කිරුළ දිනයි

දකුණු අප්‍රිකානු සම්භවය පිළිබඳ මතුවූ ගැටලුවක් හේතුවෙන් එරට පැවැති රූ රැජන තරගයෙන් ඉවත් කළ චිඩිම්මා අඩෙට්ෂිනා නයිජීරියා රූ රැජන ලෙස කිරුළ පැලඳූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නීතිඥ උපාධිය හදාරන මේ 23 හැවිරිදි තරුණිය දකුණු අප්‍රිකානු පියකුට දාව උපන් දකුණු අප්‍රිකානු තරුණියක් වුවද, ඇගේ මව මොසැම්බික් ජාතිකයකු වීම හේතුවෙන් පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති රූ රැජන තරගයේදී ඇගේ සහභාගීත්වය දැඩි විවේචනයට ලක්වූ බවත්, එම ගැටලුව මත ඇය තරගයෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු රූ රැජන තරගයේ සංවිධායක මණ්ඩලය පියවර ගත් බවත් පසුගියදා වාර්තා විය.

ඇයට නයිජීරියාවේ රූ රැජන තරගයට සහභාගිවීමට ඇරියුම් ලැබී ඇත්තේ දකුණු අප්‍රිකානු රූ රැජන තරගයේ අවසන් වටයේදී ජාතිකත්වය පිළිබඳ ගැටලුව හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුව බවද වාර්තා වේ. මේ ජයග්‍රහණයත් සමඟ ඇය ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ලෝක රෑ රැජන තරගය සඳහා නයිජීරියාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගත් බව ද වාර්තා වේ.