රජයේ වැඩපිළිවෙළ වෙනස් වුණොත් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් අහිමි වෙනවා

එළැඹෙන ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට හිමිවීමට නියමිත වැටුප් වැඩිවීම් අහිමිවී යෑමේ පැහැදිලි අවදානමක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“2022දී අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා අවස්ථාවේ තමන් රට ගොඩනංවන බවත්, ඒ වෙනුවෙන් ටික කලක් ඉවසීමෙන් සහාය දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය අද වන විට ක්‍රියාවෙන් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය වසර දෙකේ ජනාධිපතිවරයා ගෙන ගිය ආර්ථක වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල රාජ්‍ය සේවකයන්ට ද දී තිබෙනවා.

මේ මස 04, 05 සහ 06 දිනවල මෙවර ජනාධිපතිවරණයේ පළමු වන අදියර වන රාජ්‍ය සේවකයන් සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙනවා. රාජ්‍ය සේවයේ ලක්‍ෂ 14කට අධික පිරිසක් සිටිනවා. එයින් ලක්ෂ 7කට අධික පිරිසක් මෙවර තැපැල් ඡන්දය භාවිත කරනවා.

පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ මූලික වැටුප දෙගුණ කරමින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව. ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්නේ කෙසේද යන්න පිළිබඳ කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගෙන තිබෙනවා.

මමත් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති නායකයෙක් ලෙස විශාල කාලයක් කටයුතු කර තිබෙනවා. නමුත් මෙතරම් විශාල ලෙස වැටුප් වැඩි කිරීමක් ඉතිහාසය කවරදාකවත් සිදු වුණේ නැති බව සඳහන් කළ යුතුයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්තල මෙලෙස ඉහළ නැංවීමට ලක් කර තියෙන්නේ ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් ලෙස ගොඩනැඟීමට අවශ්‍ය අඩිතාලම දැමීමටයි. ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩි කර තිබෙනවා.

ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වැනි ශ්‍රේණියේ වැටුප් වැඩිවන්නේ රුපියල් 5,450කින්, දෙවැනි ශ්‍රේණියට රුපියල් 8,760ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 10,950ක වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් වැඩිවීමක් සිදු වෙනවා.

රියැදුරු සේවයේ තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා තිබෙනවා. දෙවැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් වැටුප් වැඩිවීමක් හිමි වෙනවා.

සමෘද්ධි සංවර්ධන නිලධාරි තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 83,40කින් ද, දෙවැනි ශ්‍රේණියට රුපියල් 11,690කින් ද, පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීමක් හිමි වෙනවා.

කළමනාකරණ සේවා නිලධාරි/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩි වෙනවා. දෙවන ශ්‍රේණියට රුපියල් 13,490කින් වැටුප ඉහළ නැංවීමටයි යෝජනා වී තිබෙන්නේ. පළමු ශ්‍රේණියේ වැටුප වැඩි වන්නේ රුපියල් 17,550කින්.

සංවර්ධන නිලධාරි තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වෙනවා. දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැඩිවීමක් සිදු වෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණියට වැටුප් වැඩිවන්නේ රුපියල් 12,885කින්. එහි දෙවන ශ්‍රේණිය රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 25,275ක වැටුප් වැඩිවීමක් හිමි වෙනවා.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වැනි ශ්‍රේණියට වැඩි වන වැටුප් වැඩිවීම රුපියල් 13,280ක්. එහි දෙවැනි ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමි වෙනවා.

හෙද නිලධාරි තුන්වැනි ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වෙනවා.

විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණිය සඳහා රුපියල් 23,425කින් වැටුප් වැඩි කිරීමටත්, එහි දෙවැනි ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වැනි ශ්‍රේණියට රුපියල් 39,595කින් වැටුප් වැඩි කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ගුරු සේවයේ විද්‍යා පීඨ ගුරුවරුන්ට රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමි වෙනවා. උපාධිධාරි ගුරුවරුන්ට රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් යෝජනාවී තිබෙනවා. දෙවන ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා වැටුප් වැඩි වන්නේ රුපියල් 38,020කින්.

පොලිස් කොස්තාපල්වරයකුට වැටුප් වැඩිවීම ලෙස රුපියල් 10,704ක් හිමි වෙනවා. පොලිස් සැරයන්වරයකුගේ වැටුප් වැඩිවීම වන්නේ රුපියල් 13,210ක්. උප පොලිස් පරීක්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩි වෙනවා. පොලිස් පරීක්ෂකවරයකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩි වෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂවරයකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතයි.

ග්‍රාම නිලධාරි පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් වැටුප් වැඩි කිරීමට නියමිතයි. එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩි වෙනවා. පරිපාලන ග්‍රාම නිලධාරියකුගේ වැටුප් වැඩිවන්නේ රුපියල් 23,575කින්.

සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරුවල වැටුප රුපියල් 28,885කින් වැඩි වෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිතයි. ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප රුපියල් 57,545කින් වැඩි වෙනවා.

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින් වැඩිවෙනවා. දෙවැනි ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩි කිරීමට නියමිතයි. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් වැටුප් වැඩිවීම රුපියල් 53,075කින් ද, අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල වැටුප රුපියල් 70,200කින් ඉහළ නැංවීමට නියමිතයි.

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයන්ට හිමි වන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ලබන වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට වැටුප් වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙවැනි හොඳ වැටුප් වැඩිවීමක් කිසිදු කාලයක රාජ්‍ය සේවකයන්ට හිමිවී නෑ.

කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ආර්ථිකයේ විශ්වකර්ම දෙයක් බව අමෙරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ පවා ප්‍රකාශ කර තියෙනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීත් එතුමා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති පරිවර්තනය අසාමාන්‍ය බව ප්‍රකාශ කළා. විදේශීය නායකයන් අද ශ්‍රී ලංකාව කෙටිකාලීනව අත්කර ගත් ප්‍රගතිය ගැන මවිත වෙනවා.

එනිසා රටේ සමස්ත රාජ්‍ය සේවකයන් මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය භාවිත කිරීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. වත්මන් රජයේ වැඩපිළිවෙළ යම් හෙයකින් වෙනස්වීමකට ලක්වුවහොත් දැනට අනුමත කර තිබෙන රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් මුළුමනින්ම අහිමිවී යනවා. එනිසා මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ යුතුයි.”

ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා

“රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අගමැති වෙලා කළ ප්‍රකාශයම තමයි ජනාධිපති වෙලත් ඒ මහතා සිදු කළේ. අපි ඔක්කොම එකතු වෙමු කියලා පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම ආරාධනා කළා. එක පක්ෂයක් විදියට අපි ඔක්කොම වැඩ කරමු. අපි එකතු වෙලා මේ රට ගොඩ නඟමු. ඊට පස්සේ මැතිවරණයක් ආපු වෙලාවට ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමැති විදියට තරග කරන්න කියලා ඒ මහතා ප්‍රකාශ කළා. නමුත් විපක්ෂ නායකයා එය ප්‍රතික්ෂේප කළා.

ජාතික ජන බලවේගයත් ඒ වගේමයි. යම් විදිහකින් ඔවුන් ජයග්‍රහණය කළොත්, ආණ්ඩු කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න තුන්දෙනාගෙන් ද? එනිසා ආයෙත් මේ රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.”

එක්සත් ශ්‍රී ලංකා පෙරමුණේ නායක විශ්ව කලාකීර්ති ජගත් කරුණාසේන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.