මෙවර ජනපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සහ හිංසාවාදය අතර සටනක්

මෙවර ජනාධිපතිවරණ සටන තුළ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ හිංසාවාදය අතර සටනක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

කොළඹ නව නගර ශාලාවේ පසුගියදා (30) පැවැති මහජන එක්සත් පෙරමුණ කොළඹ දිසා නියෝජිත සමුළුවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ගොඩ ගත්ත රට යළි අවුල් ජාලාවක් බවට පත් කරනවද ඉදිරියට ගෙන යනවද? නැත්නම් බංකොලොත්වාදී ප්‍රතිවාදී යෝජනා කරන අය පරාජය කරනවා ද යන්න ජනතාව තීරණය කළ යුතු බව අගමැතිවරයා කියා සිටියේය.

මේ මැතිවරණ ජයග්‍රහණය ලංකාවේ තීරණාත්මක ජයග්‍රහණය යැයි ද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

ඔබ අප සියලු දෙනා මාතෘ භූමියේ ආරක්ෂාව, පැවැත්ම, අනන්‍යතාව වෙනුවෙන් නොසැලී සිටියා. ඒ සඳහා අප යන ගමනේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී, අවිහිංසාවාදී දේශපාලන ප්‍රතිපත්ති. මෙයයි මහජන එක්සත් පෙරමුණේ සුවිශේෂීතාව. හිංසාකාරී දේශපාලනයකට රට ගමන් කරන හැටි අප තුන් වතාවක් දැක්කා. ඒ කාලේ ඔවුන් මාස ගණනාවකට රට අඩපණ කළා. නමුත් හිංසාවාදී පාලනයකට රටේ ජනතාව හැරුණේ නැහැ. බහුතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා.

දැනුත් අප මුහුණ දෙන්නේ එවන් දේශපාලන අත්හදා බැලීම්වල නිරත කණ්ඩායමකට. ප්‍රජාතන්ත්‍රවාදීව එයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අත්හදා බලමින්, මේ විදිහට පුළුවන් කියල පාලනතන්ත්‍රයට කෙටි මාර්ග ඉදිරිපත් කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඊට වඩා සංකීර්ණයි. මහජන සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ සිට පහළට ක්‍රියාකාරීව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රටේ දේශපාලන ප්‍රවාහයන්ට පුළුවන්කම ලැබෙනවා. එය තමයි ඔබ අප ඉදිරියේ හැදෙන වැඩෙන දරුවන්ට භුක්ති විඳින්න තියෙන්නේ. එහෙම නැති වුණොත් වෙන දේවල් අහලා කියවලා, විද්‍යුත් මාධ්‍ය මඟින් වෙනදට වැඩිය ඇස් දෙකෙන් දැක බලාගන්න පුළුවන්කම දැන් තිබෙනවා. ඔබ අතට එන්න කලින් බංගලාදේශයෙ වුණු දේ ඔබ දන්නවා.

රටවැසියාට සහ ජාත්‍යන්තරයට අවිශ්වාසයක් ඇති කරන්න ඇතැමුන් උත්සාහ කරා ඒවා ව්‍යාර්ථ වුණා. ඒ නිසා පුළුවන් කියන විශ්වාසය ඇතිව ජනාධිපතිවරයා පුළුවන් ශ්‍රී ලංකා කියන සටන් පාඨය තෝරා ගත්තා. මෙහි තිබෙන වැඩසටහන ඉතාම විශ්වාසදායි. අලුත් ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කරන්න පළමු වරට ඉදිරිපත් කරලා තියෙනවා “‍ථේරවාදී ආර්ථික පිළිවෙත” නමින්.

මෙය ලංකාවේ තීරණාත්මක ජයග්‍රහණයයි. බොරු පොරොන්දු ගොඩයි. තවත් පැත්තක කරනවායි කියන වැඩ ගොඩයි. ප්‍රජාතන්ත්‍රවාදයයි හිංසාවාදයයි අතර සටනක් තියෙන්නේ. ගොඩ ගත්ත රට යළි අවුල් ජාලාවක් බවට පත් කරනවද ඉදිරියට ගෙන යනවද? නැත්නම් බංකොලොත්වාදී ප්‍රතිවාදී යෝජනා කරන අය පරාජය කරනවාද?

මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා ජයවර්ධන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

කිරුළපන පුෂ්පාරාමාධිපති ඇල්කඩුවේ නාගිත හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ, කොළඹ නගර සභාවේ හිටපු පුරපති ප්‍රසන්න ගුණවර්ධන, හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන, මහාචාර්ය නන්ද ධර්මරත්න, මහජන එක්සත් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සභා නියෝජිතයන්, හිටපු මහජන නියෝජිතයන්, හිටපු වෘත්තීය සමිති නායකයන් ඇතුළු පාක්ෂිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.