මහජන ආධාර මුදලින් ගොඩනැඟූ වලස්මුල්ල මූලික රෝහලේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ පිවිසුම් මඟ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල මුලික රෝහල් පරිශ්‍රයේ මහජන ආධාරයෙන්ම ගොඩනගන ලද ශල්‍යාගාර සංකීර්ණයේ ඉහළ මහලයේ ශල්‍යාගාර වාට්ටු ද්විත්වය සහ ඒ වෙත ලගාවීම සඳහා නිර්මාණය කරන ලද පිවිසුම් මග නිල වශයෙන් විවෘත කිරීම සිදු කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සදහා රුපියල් මිලියන 70 කට අධික ජනතා ආධාර මුදලක් වැය කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ වලස්මුල්ල රෝහල රෝගී සත්කාරක සේවාවේ තවත් එක් පියවරක් ඉදිරියට පැමිණ ඇති බවයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් මෙරට තනි පුද්ගලයින්, පවුල් වශයෙන්, දානපතියන්, පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් වෛද්‍ය උපකරණ ඇතුළු භෞතික සම්පත් සංවර්ධනයට කටයුතු කර ඇති නමුත් තම ප්‍රදේශයේ ජනතාව එක්ව තම පෞද්ගලික මුදල් යොදවා රෝහලක් ගොඩනැගූ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බව ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ රෝහල් සංවර්ධනයට වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි ගෙන යන වැඩපිළිවෙළ යටතේ මෙම රෝහලේ ඉදිරි දියුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවයි.