දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාරගැනීමට සූදානම් – අනුර

දිළඳුකම තුරන් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

තමන් ගම්වල ඉපදුනු පිරිසක් බවත් දුප්පත්කම දැක සහ විඳපු පිරිසක් නිසා තමන්ට දුප්පත් කම විලාසිතාවක් නොවන බවයි අද (01) කොළඹ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම නිසා ග්‍රාමීය ජනතාව දුප්පත් කමින් මුදවා ගැනීමේ අත්‍යවශ්‍ය වුවමනාවක් ජාතික ජන බලවේගයට පවතින බවත් දුප්පත්කමින් සිරවී සිටින ජනයාට ජීවිතයක් ලබාදිය යුතු බවද ඔහු සඳහන් කළා.

ඕනෑම රටක ඕනෑම වෙලාවක එම නිශ්චිත මොහොතේ පවතින ආර්ථිකය සමඟ කටයුතු කිරීමට නොහැකි ජන ප්‍රජාවක් ජීවත් වන බවත් ඔවුන් රැක බලා ගැනීම රාජ්‍යක වගකීම බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.