මාලිමාවේ පත්‍රිකා බෙදූ පිරිසට 88-89 මතක් කර තර්ජනය කරලා

මාතලේ, බලකඩුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසකට 88/89 කාලය මතක නැද්දැයි විමසා නැවත මේ පැත්තේ එන්න එපා යැයි කාන්තාවක ඇතුළු සිව්දෙනකු විසින් තර්ජනය කර පහරදීමට තැත් කළේ යැයි එම ආධාරකරුවන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මාතලේ බලකඩුව වැලිකන්ද ප්‍රදේශයේ නිවාස වෙත අත්පත්‍රිකා ලබාදෙමින් ගමන් කරමින් සිටියදී එම ප්‍රදේශයේ කාන්තාවක ඇතුළු සිව්දෙනකු පැමිණ මෙසේ තර්ජනය කර පහරදීමට තැත් කළ බවට පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු අලවතුගොඩ පොලිසිය මඟින් සිදු කරනු ලබයි.