ලොකු ලූනු අස්වනු මිලදී ගන්නැයි ගොවීන් ඉල්ලීම් කළොත් රජය ඊට සූදානම්

ලොකු ලූනු ගොවීන්ගේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස එම ගොවීන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් සතොසෙන් එම අස්වනු මිලදී ගැනීමට රජයේ අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අස්වනු සඳහා නිසි මිලක් දෙන ලෙස ඉල්ලීමක් හෝ පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැති බවත්, එසේ ලැබුණොත් ඇමැති මණ්ඩල අනුමැතිය ලත් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ලොකු ලූනු ගොවීන්ට යම් අසාධාරණයක් සිදුවී තිබේදැයි ලොකු ‍ ලූනු පිළිබඳ භෝග නායක ඩී. ආර්. කාංචන මහතාගෙන් ඇමැතිවරයා කළ විමසීමකදී අනාවරණය කර ඇත්තේ දැනට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ලොකු ලූනු කිලෝවක් රුපියල් 225ත් 250ත් අතර මිලකට මිලදී ගන්නා බවයි. ලොකු ලූනු රුපියල් 150 දක්වා අඩුවී ඇතැයි ගොවීන් පළ කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ද කාංචන මහතා අවධාරණය කර තිබේ.

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් ලක්ෂ 03කි. මේ යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 1200ක් පමණ වේ. එයින් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24,000කි. එම අස්වනු ප්‍රමාණයෙන් මෙරට සමස්ත අවශ්‍යතාව සම්පූර්ණ වන්නේ නැත. පරිභෝජනයට ඉතිරි ලොකු ලූනු ප්‍රමාණය මුළුමනින්ම ආනයනය කිරීමට සිදුවී ඇත. විශේෂයෙන් සෑම වසරකම ලොකු ලූනු අස්වැන්න නෙළන අවස්ථාව වන විට වර්ෂාව නිසා එම වගාවන් විනාශවී යන තත්ත්වයක් ද පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. මෙවර ද හෙක්ටයාර 4000ක වගා කිරීමට සැලසුම් කළත්, වර්ෂාව නිසා එම ප්‍රමාණය හෙක්ටයාර 1200කට සීමා කිරීමට සිදු වූ බව ලොකු ලූනු පිළිබඳ භෝග නායකයා ඇමැතිවරයාට දැනුම්දී ඇත.